Back to Blog

මුවන්පැලැස්ස වැවට විදෙස් නෙලුම් ඇට විසි කළේ කුමන්ත්‍රණයකටද?

Editor
මුවන්පැලැස්ස වැවට විදෙස් නෙලුම් ඇට විසි කළේ කුමන්ත්‍රණයකටද?

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ශේශාධි

උඩවලව යනු සංරක්ෂිත භූමියකි. එය අයත් වනුයේ මෙරට ප්‍රකාශිත ජාතික වනෝද්‍යාන අතරටය. ඕනෑම අයෙකුට තමන්ට අවැසි පරිදි සංරක්ෂණ භූමියක මානව ක්‍රියාකාරකම් සිදු කළ නොහැක. පසුගිය කාලයේ යන එන ගමන් අතරතුරදී පළතුරු ඇට තැනින් තැනට දැමුවා සේ ක්‍රියා මෙහි කළ නොහැක. උඩවලවේ ඇති කුඩා වැව් සියල්ලම පාහේ වියළි කාලයේදී සිඳී යාමේ අවධානමට ලක් වෙති. මුවන්පැලැස්ස වැවද එසේමය. එනිසාම එවන් ජල මුලශ්‍රයකට මේ අයුරින් ආක්‍රමණශීලි ජලජ පැළෑටි විශේෂයක් ව්‍යාප්ත වීම තරමක ගැටළු මතු කරන්නකි.

ආක්‍රමණශීලි ශාක විශේෂවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඒවා වේගයෙන් පැතිරී යාමය. මේ ශාකයේද බොහෝ මල් ප්‍රමාණයක් හට ගනී. අධික පත්‍ර ප්‍රමාණයක් හෝ වැඩි විශාලත්වයෙන් යුතු පත්‍ර දරයි. මූල පද්ධතිය හා මූල අංකුර මඟින් බෝ වෙයි. මල් අධික ප්‍රමාණයක් හට ගන්නා නිසාම මල් වියලි ගිය පසු බීජ බොහෝ ප්‍රමාණයක් ඉතිරි වී පවතියි. බීජ ආවරණය වී ඇත්තේද ඝනකම් සිවියකිනි. එනිසාම ඒවාට බොහෝ කාලයක් වුවද නොනැසී පැවතිය හැකිය. පායන කාලයකදී පොළොවට පතිත වූවත් එක් වර්ෂාවකින් පවා ඒවායින් පැල හට ගනී. එනිසාම යම් හෙයකින් මේවා ගලාගෙන යන ජලයට එක් වුවහොත් මේ වනෝද්‍යානයේම වෙනත් ජල මුලාශ්‍රවලට පවා බෝ වීමේ අවධානමක් පවතින බව උඩවලව අලි කළමනාකරණ ව්‍යාපෘතියේ පර්යේෂණ කළමණාකරු සමීර වීරතුංග 'ඉරිදා මව්බිම'ට පැවසීය.

මේ පැලවලට එහි ජල තලයම ආවරණය කර ගැනීමේ අවධානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඉන් සිදුවනුයේ මෙහි ගැවසෙන කිඹුලන්ට, කුරුල්ලන්ට ආහාර සොයා ගැනීම අපහසු වීමය. ජලජ පක්ෂීන්ට වුවද මෙය ගැටලුවකි. මේ ශාක සීග්‍රයෙන් ව්‍යාප්ත වීම තුළ උන්ට එතෙක් කලක් ජීවත් වූ සුපුරුදු පරිසර කලාපය අහිමි වී යයි.

ඇතැම් විට ජලජ ශාක නොමැති ජල තලය අසුන්දර දසුනක් බව සමහරෙක්ට දැනුණද එය එසේ නොවේ. ඕලු, නෙලුම්, මානෙල් ආදිය පිපුණු ජල තල සේම ජලජ පැළෑටි කිසිවක් නොමැති ජල තලද ඒවාට ආවේණික ලක්ෂණ දරයි. සුන්දරත්වයක් උසුලයි. එහි ඇත්තේ සංරක්ෂණ වටිනාකමකි. එනිසා ජලජ ශාක නොමැති ජල මුලාශ්‍රවලට එවන් ශාක පිටතින් හඳුන්වා දීම කිසිසේත් අවශ්‍ය නොවේ.

අතට අසුවන බීජ දකින දකින තැන ව්‍යාප්ත කිරීම එක්තරා මානසික ව්‍යාධියක් මිස පරිසර සංරක්ෂණයේ කොටසක් නොවන බව සමීර වීරතුංග පෙන්වා දුන්නේය.

අනෙක් අතට වියළි කලාපයේ ජල මුලශ්‍රයකට මෙවන් ආක්‍රමණශීලි ශාක මිනිස් මැදිහත් වීමෙන් ව්‍යාප්ත කිරීම අතිශය භයානක විපාක ගෙන දෙන්නකි. වියලි කලාපයේ කුඩා වැව් අමුණු යනු වර්ෂා ජලයෙන් පෝෂණය වන ඒවාය. වර්ෂාව අඩු වී ක්‍රමයෙන් වියලි කාලය එළඹෙත්ම ඒවාද සිඳී යයි. ඇතැම් විට එම කාලයේදී සතුන්ට පානය කරන්නට ජලය යම් තරමකින් හෝ රැඳෙන්නේ ඒවායෙහි පමණි. ඒවාද මෙවන් ආක්‍රමණශීලි ශාකවල ග්‍රහණයට නතු වන්නේ නම් වියලි කාලයේදී සතුන්ට ජලය සොයා යන්නට තැනක් ඇත්තේ නැත. වියලි කලාපයේ අනෙකුත් වනාන්තර කොටස්වල ආක්‍රමණශීලි ශාක ඇති පදමට භුමිය මත පැතිර ගොස් අවසන්ය. එනිසාම එහි ගැවසෙන සතුන් ආහාර හිඟයකට මුහුණ දී සිටිති. මේවා සමඟ තරඟ කිරීමට අපොහොසත් වීමෙන් එම කලාපයට ආවේණික ශාක මෙන්ම දේශීය ශාක ප්‍රජාව වඳ වෙමින් පවතී. භුමිය මෙන්ම වියලි කලාපයේ ජල තලයද මේ අයුරින් ආක්‍රමණශීලි ශාකවලින් වැසී යන්නට පටන් ගතහොත් සතුන්ට බීමට ඇති ජල පොද පවා අහිමි වී යා හැකිය.