Back to Blog

උන්ටත් මේ බිමෙහි අයිතියක් ඇත්තේය

Editor
උන්ටත් මේ බිමෙහි අයිතියක් ඇත්තේය

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය

වසර පුරාවටම යෙදෙන විවිධ සැමරුම් අතර අගෝස්තුවේ 12 වැනිදාට ලෝක අලි දිනය ද යෙදී ඇත. ඇග පුරා මුනිස්සම් දරාගත්, අත-පය හොඩවැල ආදියෙහි මදු නිසා ඇති වූ තුවාලද සහිතව, හක්ක පටසට කට පුපුරා, මස් වැදලි එල්ලෙන තුවාලද සහිතව යන්තමින් ජීවිතය ගලවා ගත් අලි ඇතුන් හෝ අද වන විට දක්නට ලැබුණ ද තවත් වසර කිහිපයකින් එළඹෙන අනාගතය ගැන ඇත්තේ අවිනිශ්චිත බවකි. වේගයෙන් ඇදෙන දුම්රියේ ගැටී දරු පැටවුන්ද, කළල දරා ගත් ගැබ්බර කෙනෙරුන් , මහා සද්ධන්තයෝ ද දෙකඩ වී මියෙති. හිසටම එල්ල වූ වෙඩි උණ්ඩයෙන් මහා පොළොව මතට ඇද වැටී අකාලයේ හුස්ම හෙළන සද්ධන්තයෝ මෙන්ම කුඩාවුන්ද සිටිති.

හොරෙන් අදින විදුලි වැටට පැටලී මියෙන උන්ද ඒ අතර වෙති. හක්ක පටස් ආහාරයට ගෙන හකු පැලුණු මස් වැදලි එල්ලෙන තුවාල සහිතව වතුර බිඳකුදු පානය කර ගත නොහැකිව අනන්ත දුක් විඳ මියෙන කුඩා අලි පැටවුන් ගණන බොහෝය. අතීතයද වර්තමානයද මෙයමය. අනාගතය මෙයට වඩා දරුණු විය හැකිය. එසේත් නොමැති නම් උන්ට යහපත් හෙටක් උදා කරන්නට නම් අලි ඇතුන්ගේ නිජ බිම් තුළ උන්ට නිදහසේ සරන්නට ඇති අයිතිය තහවුරු කළ යුතුය.

පසුගිය කාලයේදී විවිධ හේතු නිසා අලි බොහෝ ප්‍රමාණයක් මරණයට පත්ව තිබිණි. මේ වසර ආරම්භයේ සිට ගත වූ ජූලි මාසයේ 22 වැනිදා වන විට අලි ඇතුන් 238ක් ඝාතනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. එම දත්තවලට අනුව වැඩි මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වෙඩි තැබීම හේතුවෙනි. අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට මිනිසුන් 74 දෙනෙක් මරණයට පත්ව ඇත. ගත වූ 2024 වසරේ අවසන් වන විට මේ ගණන දැක්වුණේ 155ක් ලෙසය.

පසුගිය වකවානුව පුරාම වෙඩි වැදුණු තුවාල සහිතව මිය ගිය අලි බොහෝ ප්‍රමාණයක් පිලිබඳ තොරතුරු වාර්තා විය. එමෙන්ම තුවාල ලබා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබන අලි විසි දෙනෙක් පමණ සිටින බවට වනජීවී දෙපාර්තමේන්තු තොරතුරු හෙළි කළේය. ඇතැම් දිනෙක අලි මරණ හතරක් පමණ වාර්තා වන තැනට රට පත්ව තිබිණි. මේවා කිසිඳු අයුරකින් ස්වභාවික මරණ නම් නොවේ. ඒ සියල්ල මිනිස් මැදිහත් වීම මත සිදු කළ ඝාතන උපක්‍රමය.

සැමරුම් දිනයක් පමණද ?

දිගින් දිගටම සිදුවන අලි මරණ හමුවේ ලෝක අලි දිනය යනු හුදෙක් තවත් එක් දිනයක්මද යන සැකය මතුවන බව උඩවලව අලි පර්යේෂණ ව්‍යපෘතියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග 'මව්බිම'ට පැවසීය.

දිනෙන් දිනම ඝාතනයට ලක්වන අලි ඇතුන්ගේ ගණන ක්‍රමානුකූලව ඉහළට යද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සඳහා මැදිහත්ව එය විසඳන බව පැවසුවද වත්මන් ආණ්ඩුව සිදු කරන ඇතැම් ක්‍රියාමාර්ග තුළින් සැමට සාධාරණයක් ඉටු කරන බව පැවසුවද අලි ඇතුන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවට ඔහු චෝදනා කළේය.

පසුගිය 2023 වසරට සාපේක්ෂව මේ වසරේදී අලි මරණ ප්‍රමාණය වැඩිවනු ඇති බව මේ වනවිටත් පැහැදිලි පෙනෙන්නට ඇත. නිල වශයෙන් අලි මරණ 240ක් පමණ වාර්තා වුවද, වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ද සමඟ මේ ගණන් වෙනස් විය හැකි බව සමීර වීරතුංග පෙන්වා දුන්නේය. පසුගිය මාස කිහිපයේදී අලි මරණවල අසාමාන්‍ය වැඩි වීමක් දක්නට විය. තුවක්කු, බදින කඳන්, අනවසර විදුලි රැහැන් හා හක්කපටස්‍ භාවිතය මේ සඳහා ප්‍රධාන හේතු සාධක වී තිබිණි. මෙලෙස ඝාතනයට ලක්වූ සතුන් අතර බහුතරයක් සිටියේ පිරිමි සතුන්ය. මෙරට හස්ති පරපුරේ ජාන ඉදිරි පරම්පරාවට රැගෙන යන සතුන් මේ අයුරින් ඝාතනය වීම තුළ අනාගතය පිලිබඳ දැඩි අවිනිශ්චිත බවක් මතු කෙරේ.

විල්” අලින්ගේ පාරාදීසයේ ඛේදවාචකය - Lankadeepa Online

අඳුරේ අත පත ගාන්නේ කාලය කා දමන්නද ?

වර්තමාන ආණ්ඩුව ගැටලුව හඳුනාගෙන ඇති බව පවසයි. ඒවාට පිළිතුරු ලබා දෙන බවද පවසයි. එහෙත් භුමිය තුළ ක්‍රියාත්මක වන්නේ පසුගිය ආණ්ඩු සමයවල අත්හදා බැලූ යල් පැන ගිය ක්‍රමය. ඇතැම් විට පසුගිය ආණ්ඩු කාලවලටත් වඩා අප්‍රසන්න සිදුවීම්ය. වනජීවී සංරක්ෂණ විෂය භාර ඇමතිවරයා හැර අන් සියල්ලෝම වනජිවි සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටිති. ඒවා විද්‍යාත්මක ප්‍රකාශ නම් කම් නැත. ඒවා සංරක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැර කරවන මාධ්‍ය සංදර්ශන පමණි.

ඇතැම් විටෙක ඒවා ගොවීන් හා ගැටුම පවතින භූමියේ මිනිසුන්ගේ මනස විකෘති කරමින් සතුන් මැරීමට උපදෙස් දෙන ඒවාය. අවි ආයුධ භාවිතයට උඩ ගෙඩි දීමය. ඒ තුළ වෙනදාටත් වඩා ගැටුම්කාරී ප්‍රදේශවල අලි මරණ ඉහළ යාම කෙරෙහි බලපෑම් ඇති කරවයි.

හිත් සතුටු කිරීම ප්‍රමුඛ කාර්යයක් වීද ?

අවිද්‍යාත්මක හා නිෂ්ඵල ප්‍රකාශ හේතුවෙන් අලි මිනිස් ගැටුම තව දුරටත් ඔඩු දුවනවා විනා විසඳුමක් නම් නොලැබේ. ඉන් සිදුවනුයේ මේ සම්බන්ධයෙන් වගකීමකින් යුතුව වැඩකරන පර්යේෂකයන්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන් සංරක්ෂණ ක්‍රියාවලියෙන් ඈත් කිරීම පමණකි. පාක්ෂිකයන්ගේ හෝ වෙනත් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වන පිරිස්වල සිත් සතුටු කිරීම සඳහා පසුගිය කාලය තුළ අසාර්ථක බව යලි යලිත් සනාථ වී තිබූ අලි පැන්නිලි යළිත් අරඹා තිබිණි. අලි මිනිස් ගැටුම නිරන්තරයෙන්ම පවතින බව හඳුනා ගෙන ඇති භූමියේ ගුණාත්මකභාවය මෙන්ම එය ප්‍රමාණාත්මකව හායනය වන බව දැන දැනත් එහි සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු නොකරන්නේ ඇයිද යන්න ගැටලුවකි. ඇතැම් විට වනජීවී රක්ෂිත තුළ අනවසර මානව ක්‍රියාකාරකම් මැඩලීම සඳහා මැදිහත්වන වනජීවී නිලධාරීන් දිරිමත් කිරීම වෙනුවෙන් ඔවුන්ට විවිධ බලපෑම් ඇති කරමින් අධෛර්යමත් කිරීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකින බව බව සමීර වීරතුංග පැවසීය. විවිධ පාර්ශ්වවල ඕනෑ එපාකම් මත කටයුතු කිරීම ඔවුන්ගේ හිත සතුටු කිරීමක් පමණක් මිස සංරක්ෂණ ක්‍රියාවලියට යහපතක් ගෙන නොදෙන බවද ඔහු සඳහන් කළේය.

වනජීවී පනත ක්‍රියාත්මක කරන්නෝ හිඟ වෙයි

මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා සිටින නිලධාරීන් ගණනින් සියයට 44ක්ම පුරප්පාඩු වී ඇති බව පැවසේ. වසර ගණනාවකට පෙර කරන ලද නිර්ණය කිරීම්වලට අනුව වනජීවී දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනුණද අද වන විට භුමියෙහි ස්වභාවය වෙනස්ව ඇති බව සංරක්ෂණවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් 'මව්බිම'ට පැවසීය.

ජාතික වනෝද්‍යානවල මෙන්ම ඉන් පිටතත් සිදුවන වනජීවී අපරාධ මැඬලීම සඳහා ප්‍රමාණවත් තරම් නිලධාරීන් පිරිසක් නොමැති වීමට හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පිළියම් යොදනවා වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම එතරම් සාර්ථක ක්‍රියාවක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. වනජීවී පනත බලාත්මක කළ හැකි නිලධාරීන්ගේ අඩුව බරපතල කාරණයකි. අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම ඇතුළු අනෙකුත් වනජීවී සංරක්ෂණ කටයුතුවලදී සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් පන් දහසකගේ පමණ සහාය ලබා ගන්නැයි ජනාධිපතිවරයා ඉකුත්දා පැවති රැස්වීමකදී සඳහන් කර තිබිණි. එවැන්නක් සිදු කරන්නේ නම් මේ අය අතරින් වන ජීවී දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට කැමති නිලධාරීන් වනජීවී පනත බලාත්මක කළ හැකි නිලධාරීන් බවට පත් කොට ඔවුන් එම දෙපාර්තමේන්තුවටම අන්තර්ග්‍රහණය කිරීම සුදුසු යැයිද සුපුන් ළහිරු ප්‍රකාශ් යෝජනා කළේය.

රක්ෂිත තුළම අලි මරණ උත්සාහයක්

අලි වැට නඩත්තුව සඳහා යැයි සේවකයන් හාර දහසක් පමණ සේවයෙහි ස්ථිර කොට ගෙන ඇත. ඔවුන් යොදා ගෙන රක්ෂිත වටා විදුලි වැට ඉදි කිරීමට හා අලි ඇතුන් වන ජීවි රක්ෂිත තුළට ගාල් කර ඔවුන්ට එහිම මිය යෑමට ඉඩ සැලසීම ආණ්ඩුවේ උපාය වී ඇතැයි යන්න සැක මතුවන බව සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.

මෑත ඉතිහාසයේ වසර ගණනාවක සිටම වන ජීවී රක්ෂිතවලට ගාල් කළ අලි ඇතුන් පෝෂණ ඌණතා ඇතුළු විවිධ හේතු නිසා අකාලයේ මරණයට පත් වූ බවට ඕනෑ තරම් උදාහරණ ඇත. පසුගිය 2006 වසරේදී ක්‍රියාවට නැංවූ වලව වම් ඉවුර වාරි ව්‍යාපෘතියට සමගාමීව සිදු කළ මහා පරිමාණ අලි පළවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ අලි ඇතුන් බොහෝ ප්‍රමාණයක් මරණයට පත් වූ තිබිණි. එමෙන්ම උඩවලව, යාල හා ලුණුගම්වෙහෙර වැනි ජාතික වනෝද්‍යානවල සිටින අලි ඇතුන් දෙස බැලීමේදී එම වනාන්තරවල අලි ඇතුන්ට ජීවත් වීම සඳහා ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම නිසා ඉතා දුර්වල පෝෂණ තත්ත්වයන්වලින් පෙළෙන බවද පෙනෙන්නට ඇත. වනෝද්‍යානවලින් පිටත වන රොදවල සිටින අලි ඇතුන් පවා ජාතික වනෝද්‍යානවලට ගාල් කිරීම නිසා එන සතුන්ට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ද සුපුන් ළහිරු ප්‍රකාශ් පෙන්වා දුන්නේය. වනෝද්‍යානවල එතෙක් ජීවත් වූ සතුන්ට මෙන්ම බලහත්කාරයෙන් එහි සිර කිරීමට කටයුතු කරන අලින්ට පවා ආහාර නොමැතිව මරණයට පත් වීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය. මේ තත්ත්වය තුළ වන ජීවී රක්ෂිතවල ජීවත් වන සතුන්ගේ පවා ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් වනු ඇත.

වන අලි ප්‍රහාරයකින් සරසවි කථිකාචාර්යවරියට බරපතළයි

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයට ඌණ පුර්ණයක්

ලාල් කාන්ත අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රක්ෂයක් හේතුවෙන් අලි ඇතුන් ඇතුළු සමස්ත වන ජිවීන්ගේම ජීවිත අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමූ බවට පරිසර වේදීහු චෝදනා කළහ. එසේ තිබියදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ජාතික වනෝද්‍යානවල තමන්ට රිසි සේ කටයුතු කිරීම අවහිර කරන වනජීවී නිලධාරීන් ගස් බැඳ පහර දී හෝ ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවට වන ප්‍රකාශයක් කළ බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි. වන ජීවින් කෙරෙහි හා වන ජීවින් සංරක්ෂණය කෙරෙහි කැප වී සිටින වෘත්තිකයින් කෙරෙහි දක්වන ද්වේෂය සහ ඔවුන් කෙරෙහි ජනතාව තුළ වෛරය වැපිරවීමේ ක්‍රියාවලියක් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු විසින් ගෙන යන බවට සුපුන් ලහිරු ප්‍රකාශ් චෝදනා කළේය. එවන් ප්‍රකාශ වැලි ඇතුන් සේම අනෙකුත් වන ජීවින් සංරක්ෂණය කෙරෙහි මරු පහරක් එල්ල කරන බවද ඔහු පැවසීය.

මෙරට ප්‍රධාන වාරි ව්‍යාපෘති බොහොමයක ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වී ඇත්තේ ලංකාවේ ජාතික වනෝද්‍යාන හේතුවෙනි. වික්ටෝරියා, රන්දෙණිගල, රන්වටැඹේ ආදී අභයභූමිවල සිට ශ්‍රීපාද දැඩි ස්වභාවික රක්ෂිතය, ආදී පුළුල් වපසරියක පහතරට වියලි කලාපය දක්වා වන ජීවි රක්ෂිත තුළ දැවැන්ත වාරි පද්ධති පිහිටා ඇත. කෘෂිකර්මාන්තයට, ජල විදුලිය නිෂ්පාදනයට පරිභෝජනයට ආදී සියලු ජල අවශ්‍යතා සඳහා ජලය ආරක්ෂා වී පවතියි. මෙවන් දෑ පවා හෑල්ලුවට ලක් කරමින් ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් සිදු කරන විවිධ ප්‍රකාශ වන ජීවීන්ට සහ වනජීවී සංරක්ෂණ වෘත්තිකයන් කෙරෙහි ජනතාව තුළ කෝපය සහ දිගින් දිගටම වෛරය සහ ද්වේශය වැපිරවීමක් බඳුය.

මේ අයුරින් වනජීවී රක්ෂිත තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන ඇතැම් පිරිස් එහි නීතිවිරෝධී දඩයම් කිරීම් ඇතුළු අනවසර ක්‍රියාවල නිරත වන බවට චෝදනා නැඟේ. අධිකරණය හමුවේ නඩු පැවරුණු එවන් සිද්ධීන් බොහොමයක් ඇත. ඔවුන් අධිකරණය හමුවේ වරදකරුවන් වී දඩ නියම වූ හෝ දඬුවම් ලැබූ අවස්ථා ද පවතින බව සුපුන් ළහිරු ප්‍රකාශ් පෙන්වා දුන්නේය. වනජීවී දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණය සහ මැදිහත් වීමෙන් තොරව වනජීවී රක්ෂිත තුළට පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර දීම වනජීවීන්ට බරපතල තර්ජනයක් ඇති වන බව වටහා ගැනීමකින් තොරව මේ ආකාරයෙන් තමන්ට රිසි අයුරින් රජයේ නිලධාරීන් කෙරෙහි ද්වේශය මුදා හැරීම ඉතාම බරපතල තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

හමස් පෙට්ටියට දැමූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම

ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2020 වසරේදී සැකසූ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට 2022 දී එවකට ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂට බාර දී තිබිණි. එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කමිටුවක් පවා පත් කොට තිබිණි. එහි ක්‍රියාත්මකභාවය හේතුවෙන් අඛණ්ඩව අලි මිනිස් ගැටුම වර්ධනය වූ වසර නවයකට පසු මෙරට අලි මිනිස් මරණවල යම් අඩුවීමක් පැවති බව සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කළේය. ආණ්ඩු වෙනස් වූවත් රජයේ ප්‍රතිපත්තිවල වෙනසක් නොවිය යුතු වුවත් මේ වන විට එයම සිදු වෙමින් පවතින බව ඔහු පැවසීය. සියලු කටයුතු අතරමඟ අතහැර අලි මිනිස් ගැටුමට මුල සිටම පිළිතුරු සොයන බවට මේ ආණ්ඩුව ප්‍රකාශ කළද, ඒ සඳහා මේ වනතුරුත් සාධනීය මැදිහත් වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැතැයි හෙතෙම කීය.

යල් පැනගිය ක්‍රමවේදය වෙනුවෙන් කාලය මිඩංගු නොකර ජාතික ප්‍රතිපත්තියක් තුළ ජාතික ක්‍රියාකාරි සැලැස්මකට අනුව වැඩ කළ යුතු බව සමීර වීරතුංග පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් වන අලි කළමනාකරණ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කොට ජනාධිපති කාර්ය සාධක බලකායක් සෘජුවම පිහිටුවිය යුතු යැයිද ඔහු අවධාරණය කළේය. වනජීවී පනත් යාවත්කාලීන කරමින් අපරාධවලට සම්බන්ධ පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි සේ නීති ශක්තිමත් කළ යුතු බවද ඔහු පැවසීය.

අද වන විට අලි ඇතුන් ජීවත් වනුයේ ඇතුළත් ගිනි ගන්නා පිටටත් ගිනි ගන්නා භුමියකය. ඌ කැලෑ රොදවල පවා ඇවිද යනුයේ මරණයට අත වනමිනි. නිදහස් හුස්ම පොදටත් සටන් වදින මේ සතුන් පෙන්වා තවමත් ඩොලර් හොයන්නට දඟල ඇත්තෝ ලක්ෂ ගණනනින් ආදායම් උපයති.

දම්වැල්වලින් බැඳී පය සේද සළු පිළියෙන් වසාගෙන කරඬුව පිට මත වඩා හිඳුවා සුදු පාවඩ උඩු වියන් මතින් වඩින ඇතුන් මිනිසුන් ගෙන් වැඳුම් ලබන රටක නිදහසේ වනයේ සරණ අලි ඇතුන් වෙඩි කා නසිති. නෙක වේදනා විඳිමින් උන් මිය යන්නේ උපන් බිමේ කරුමක්කාරයෝ ලෙසය.

ඉදින්, අකාලයේ මියෙනවුන් වෙනුවෙන් අද දිනය සැමරීම පමණක් ප්‍රමාණවත්ද ?