Back to Blog

තෘණ බිම්වල වාසය කරන අලංකාරම උරග විශේෂයකි තාරකා ඉබ්බා (Geochelone elegans)

Editor
 තෘණ බිම්වල වාසය කරන අලංකාරම උරග විශේෂයකි තාරකා ඉබ්බා (Geochelone elegans)

LLLF Media Team

Suranjeewa Kodithuwakku

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පඳුරු සහිත බිම්වල සහ තෘණ බිම්වල වාසය කරන අලංකාර සහ සුවිශේෂී උරග විශේෂයක් ලෙස තාරකා ඉබ්බා (Geochelone elegans) හැඳින්විය හැක. පූර්ණ ශාක භක්ෂක උරගයෙකු වන මෙම සත්වයාගේ පිටත කවචයේ ඇති සිත් ඇදගන්නාසුළු තරු හැඩැති රටා හේතුවෙන් මෙම ඉබ්බන් විශේෂයට මෙම නම ලැබී ඇත. එමෙන්ම මේවර ඉබ්බන් හූනියම් ඉබ්බා වැනි විවිධ නම් වලින් ප්‍රාදේශීයව මෙම සත්ව විශේෂය හඳුන්වනු ලබයි.

Roar සිංහල - දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන්

තාරකා ඉබ්බා අයත් වන්නේ උරගයින් ගේ Testudinidae කුලයේ Geochelone ගණයටය මෙම ඉබ්බන් ප්‍රධාන වශයෙන් වියළි, ​​පඳුරු සහිත පරිසර පද්ධතිවලට අනුවර්තනය වී ඇත.

තාරකා ඉබ්බාට අලංකාර, උස් වූ, උල් හැඩැති පිටත කවචයක් (carapace) ඇති අතර, එය කළු හෝ තද දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර, කවචයේ ඇති තරු රටා කහ හෝ ක්‍රීම් පැහැති ඉරි වලින් සමන්විත වේ. මෙම තරු රටා එක් එක් ඉබ්බාට ආවේණික වන අතර, එය අනන්‍යතා ලකුණක් ලෙස සත්වවේදීන් යොදාගනී. හොඳින් වර්ධනය වූ ඉබ්බෙකුගේ සාමාන්‍ය දිග සෙන්ටිමීටර 25ක් පමණ වන අතර, සමහර මේවර ඉබ්බන් සෙන්ටිමීටර 30කට වඩා වැඩියෙන් වර්ධනය වූ අවස්ථා වාර්තා වී ඇත. බොහෝ උරග වර්ග මෙන් පිරිමි තාරකා ඉබ්බන් ද සාමාන්‍යයෙන් ගැහැණු ඉබ්බන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ.

පෙර සඳහන් කළ පරිදි මෙම ඉබ්බන් පූර්ණ ශාකභක්ෂකයන් වන අතර, තණකොළ, පලතුරු, මල්, කොළ, සහ පඳුරු වැනි ශාක කොටස් ආහාරයට ගනී. ඔවුන්ගේ ජල අවශ්‍යතා බොහෝ විට සපුරා ගනු ලබන්නේද ඔවුන් ආහාර යට ගන්නා ශාක පත්‍ර මත ය පතිත වන උදෑසන පිනි මගිනි. නමුත් කලාතුරකින් ඔවුන් නොගැඹුරු කුඩා දියකඩිති වලින් තම ජල අශ්‍යතාවය සපුරා ගනී.

තාරකා ඉබ්බා - විකිපීඩියා

වාසස්ථාන සහ ව්‍යාප්තිය

තාරකා ඉබ්බා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ වියළි කලාපීය ප්‍රදේශවල වාසය කරයි. ශ්‍රී ලාංකික තාරකා ඉබ්බා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ, විශේෂයෙන් පහත් බිම්වල පිහිටි පඳුරු සහිත වනාන්තර, තෘණ බිම් සහ කෘෂිකාර්මික ඉඩම් ආශ්‍රිතව දක්නට ලැබේ. ඔවුන් සාමාන්‍යයෙන් හුදකලාව ජීවත්වන සතුන් වන අතර, දිවා කාලයේදී දැඩි හිරු රශ්මියෙන් වැළකී සිටීම සඳහා පඳුරු හෝ වෙනත් ආවරණ යට සැඟවී සිටිති. උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී ආහාර සොයා ක්‍රියාශීලී වේ.

තාරකා ඉබ්බන් ලිංගිකව පරිණත වන කාලය ඔවුන්ගේ විශේෂය, වාසස්ථානය සහ පෝෂණ තත්ත්වය අනුව වෙනස් විය හැකි නමුත්, සාමාන්‍යයෙන් පිරිමි තාරකා ඉබ්බන් වයස අවුරුදු 2ක් 4ක් පමණ වන විට ලිංගිකව පරිණත වේ. ගැහැණු සතුන් වයස අවුරුදු 6ක් 8ක් පමණ වන විට ලිංගිකව පරිණත වේ.ඔවුන්ගේ ශරීර ප්‍රමාණය ද ලිංගික පරිණත භාවයට බලපාන අතර, සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 15-20 ක පමණ දිගකට කටුව වර්ධණය වූ විට ප්‍රජනනයට සූදානම් වේ. ගැහැණු සතුන් බිත්තර දැමීම සඳහා වැඩි පෝෂණයක් හා ශක්තියක් අවශ්‍ය වන බැවින්, පිරිමි සතුන්ට වඩා පසුව පරිණත වේ.

තාරකා ඉබ්බන් සාමාන්‍යයෙන් වසරකට කිහිප වතාවක් බිත්තර දමයි. ගැහැණු ඉබ්බා බිත්තර 1 සිට 10 දක්වා ප්‍රමාණයක් බිම හාරන ලද කුඩා වළක දමා වැසීමට පෙර, බිත්තර කවචය ඝන බවට පත් කරයි. බිත්තර පුපුරා පැටවුන් බිහි වීමට මාස 2-3ක් පමණ ගත වේ. ඉබ්බන්ගේ පැටවුන් බිහි වූ පසු, ඔවුන් ස්වාධීනව ජීවත් වේ. මෙම ඉබ්බන් සාමාන්‍යයෙන් අවුරුදු 30-50ක් පමණ ජීවත් විය හැකි අතර, සුරතල් සතුන් ලෙස තබා ගන්නා විට නිසි රැකවරණය යටතේ ඊටත් වඩා වැඩි කාලයක් ජීවත් විය හැක.

Roar සිංහල - දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන්

තාරකා ඉබ්බා දැනට IUCN රතු දත්ත පොතේ "අවදානමට ලක් වූ" (Vulnerable - VU) විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත. ඔවුන් මුහුණදෙන ප්‍රධාන තර්ජන කිහිපයකි:වාසස්ථාන විනාශය: කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සහ මාර්ග සංවර්ධනය හේතුවෙන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ශීඝ්‍රයෙන් අහිමි වීම සහ ඛණ්ඩනය වීම මාර්ගය හරහා මාරුවීමේදී රථවාහනවලට හසුව තුවාල වීම හා මියයාම.නීති විරෝධී වෙළඳාම: තාරකා ඉබ්බන්ගේ අලංකාර පෙනුම නිසා, ඔවුන් ජාත්‍යන්තර සුරතල් සත්ත්ව වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති සත්ව විශේෂයක් වී ඇත.

මෙය නීති විරෝධී ලෙස අල්ලා ගැනීම් සහ ජාවාරම් සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත. මිනිස්-සත්ව ගැටුම්: ඇතැම් විට ගොවිපළවල් අසලට පැමිණෙන විට මිනිසුන් විසින් පීඩා කිරීම හෝ මරා දැමීම.පරිසර දූෂණය, කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය සහ වෙනත් දූෂක ද්‍රව්‍ය මගින් ඔවුන්ගේ වාසස්ථාන සහ ආහාර ප්‍රභවයන්ට හානි වීම.

ශ්‍රී ලංකා රජය මෙම සතුන් සම්බන්ධ දැඩි නීති ක්‍රියාත්මක කිරීමෙන්ද සංරක්ෂණ සංවිධාන තාරකා ඉබ්බා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ද සිටී,ආරක්ෂිත ප්‍රදේශ ජාතික වනෝද්‍යාන සහ ස්වභාව රක්ෂිත තුළ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ තාරකා ඉබ්බා ආරක්ෂිත විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන් අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම, හෝ වෙළඳාම් කිරීම නීති විරෝධී වේ. විවිධ කණ්ඩායම් මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රජාවන් සහ මහජනතාව අතර තාරකා ඉබ්බන්ගේ වැදගත්කම සහ සංරක්ෂණ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම. නීති විරෝධී වෙළඳාම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය සිදුකරයි.

තාරකා ඉබ්බාගේ පැවැත්ම සහතික කිරීම සඳහා පුළුල් සංරක්ෂණ උපාය මාර්ග අත්‍යවශ්‍ය වේ. නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, වාසස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, නීති විරෝධී වෙළඳාම මැඩපැවැත්වීම, සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම අද්විතීය සත්වයා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වේ.