Back to Blog

ශ්‍රී ලංකාවට ආවේණික රතු උණහපුළුවා

Editor
ශ්‍රී ලංකාවට ආවේණික රතු උණහපුළුවා

රතු උණහපුළුවා Red Slender Loris - (Loris tardigradus-ලොරිස් ටාර්ඩිග්‍රැඩස් ) යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ, අතිශය දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිශාචර ක්ෂීරපායී සත්වයෙකි. මොවුන් මිනිසා ඇතුළු වානරයන් අයත්වන ප්‍රයිමේටා (Primates) ගෝත්‍රයටම අයත් වන අතර, ලෝරිසිඩේ (Lorisidae) කුළයේ සාමාජිකයෙකි. කුඩා ශරීර ප්‍රමාණය, විශාල ඇස් සහ සෙමින් චලනය වන ස්වභාවය මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණ වේ.

රතු උණහපුළුවා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග තෙත් කලාපයේ වනාන්තරවලත්, පහත රට වැසි වනාන්තර වලත්, උඩරට කඳුකර සහ සුළු වශයෙන් වියළි කලාපයේ සමහර ප්‍රදේශවලත් දක්නට ලැබේ. මොවුන් ගස් අතු මත ජීවත් වීමට සම්පූර්ණයෙන්ම පාහේ අනුවර්තනය වී ඇති අතර, ඝන පත්‍ර සහිත ගස් සහ පඳුරු සහිත පරිසරයන්ට ප්‍රිය කරයි. දිවා කාලයේදී ගස් කුහර, ගස් බෙන හෝ ඝන පත්‍ර අතර සැඟවී සිටින මොවුන්, රාත්‍රි කාලයේදී ක්‍රියාකාරී වේ.

රතු උණහපුළුවාගේ ශරීරය සෙන්ටිමීටර් 18-25 පමණ දක්වා දිගින් යුක්ත වන අතර බර ග්‍රෑම් 100-150 පමණ දක්වා වර්ධනය වේ. මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විශාල, වටකුරු ඇස් ය. මෙම ඇස් රාත්‍රියේදී හොඳින් දැකීම සඳහා අනුවර්තනය වී ඇත. ශරීරය රතු-දුඹුරු පැහැති ලෝමවලින් වැසී ඇති අතර, උදරය සුදු හෝ ලා කහ පැහැයක් ගනී. සිහින් අත් පා සහ ශක්තිමත් ග්‍රාහක හැකියාවක් සහිත ඇඟිලි මොවුන්ට ගස් අතු මත ස්ථාවරව ගමන් කිරීමට උපකාරී වේ. වලිගයක් නොමැති වීම හෝ ඉතා කුඩා වලිගයක් තිබීම ද මොවුන්ගේ විශේෂත්වයකි.

උනහපුලුවා 🦝🦝🐾🐾 ශ්‍රී ලංකාවේ උනහපුලුවන් විශේෂ දෙකක් දැකඟත හැකියි.එනම්  අළු (Loris Lydekkerianus) සහ රතු (Loris Tardigradus) .රතු උනහපුලුවා ලංකාවට  ආවේනික වන අතර ...

රතු උණහපුළුවාගේ ආහාර වේලට ප්‍රධාන වශයෙන් කෘමීන් , කුඩා පෘෂ්ඨවංශීන්, පලතුරු, ශාක පත්‍ර, මල් සහ ගස්වල පොතු අයත් වේ. මොවුන් ඉතා සෙමින් හා ප්‍රවේශමෙන් තම ගොදුර වෙත ළං වී ක්ෂණිකව අල්ලා ගැනීමට දක්ෂයෝය.

මොවුන් තනිව, යුගල වශයෙන් හෝ කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වන නිශාචර සතුන් වේ. අතිශයින්ම ලැජ්ජාශීලී සහ රහසිගත හැසිරීමක් පෙන්වන මොවුන්, අනතුරක් දැනුණු විට චලනය නොවී සිටීමට හෝ ඉතා සෙමින් ගමන් කිරීමට පෙළඹේ. ඔවුන්ගේ සෙමින් චලනය වන ස්වභාවය නිසා මේ පිළිබඳව ගැමියන් අතර විවිධ ජනකථා නිර්මාණය වී ඇත.

Slender loris - Wikipedia

රතු උණහපුළුවා IUCN රතු ලැයිස්තුවේ "වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (Endangered)" විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

මොවුන් මුහුණ දෙන ප්‍රධාන තර්ජන කිහිපයක් මෙසේය:

වනාන්තර එළිපෙහෙළි කිරීම

කෘෂිකාර්මික කටයුතු

නාගරීකරණය

යටිතල පහසුකම් සංවර්ධනය

හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතී.

සුරතල් සතුන් ලෙස විකිණීම සහ ඖෂධීය අරමුණු සඳහා නීති විරෝධී ලෙස දඩයම් කිරීම මොවුන්ගේ ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරයි.

ගස් අතු හරහා ගමන් කිරීමේදී විදුලි රැහැන්වලට හසු වී මිය යාම සාමාන්‍ය සිදුවීමකි. ඔවුන්ගේ වාසස්ථානවල පවතින දේශගුණික රටාවන්හි වෙනස්වීම් ද මොවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇත.

රතු උණහපුළුවා සංරක්ෂණය සඳහා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම, නීති විරෝධී වෙළඳාම මැඩපැවැත්වීම සහ මහජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අහිංසක නිශාචර සත්වයා ශ්‍රී ලංකාවේ අද්විතීය ජෛව විවිධත්වයේ වැදගත් අංගයක් වන අතර, ඔවුන්ගේ පැවැත්ම සහතික කිරීම අපගේ වගකීමකි.

LLLF Media Team

Suranjeewa Kodithuwakku