උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය
කවරදා හෝ ඉදිවන බව පවසන ‘කාසි කොටේ අලි උමගේ’ කණු අතර වාඩි වී අලි රංචු එන තුරු ඈතට වී බලා හිඳිනා අයෙක් එහි යන අයකු නෙත ගැටේ. ඔහු නමින් කුමාරය. වසර අටක් දහයක් තිස්සේ මේ අලි රංචුව පාර මාරු වී යනතුරු උන්ගේ ආරක්ෂාව සලසනුයේ ඔහුය. ඔහුගේ සහායට ඒ අවට නිවෙස්වල වෙසෙන කිහිපදෙනෙක්ද ඉඳහිට ඒ අසලට පැමිණේ. උමගේ වැඩ නිමා වනතුරු රේල්ලුවේ සේවකයෝ කිහිපදෙනෙක්ද ඒ අසල රඳවා සිටිති. යම් හෙයකින් දුම්රිය පැමිණෙන වෙලාවටම අලි රංචුව දුම්රිය මඟ හරහා යන්නට
පැමිණියහොත් උන්ගේ ආරක්ෂාව සැලසීම මේ අයගේ වගකීම වී ඇත. ‘කාසි කොටේ අලි උමග’ ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැට දිවුල-අඹන්පොල හා ගල්ගමුව අතරය. දුම්රිය මාර්ගයත් වාහන ගමන් කරන මහා මාර්ගයත් එක පේළියට දිවෙන මෙහි පසෙකින් ‘ගැටදිවුල රක්ෂිතය’ පිහිටා ඇත. අනෙක් පස ඇත්තේ නිවාස කිහිපයකි. ඉන් එහාට අයත් වන ලැහැබකි. එහි නිරන්තරයෙන් අලි ඇත්තු ගැවසෙති. එහි සිටින අලි – ඇතුන් එහා මෙහා මාරු වනුයේ මේ රේල් පාර හරහා වැටෙන මහා මාර්ගයෙනි.

ඈත සිට එකා දෙන්නා බැගින් අලි එන බව දර්ශනය වූ වහාම ‘කුමාර’ රේල් පාරෙන් මහා මාර්ගයට පැන ගනී. මහා මඟ එහා මෙහා යන වාහන නවතා අලින්ට ‘ගැට දිවුල රක්ෂිතය’ දෙසට යන්න ඉඩ සැලසීම ඔහුගේ දෛනික රාජකාරියේ කොටසක් බවට පත්ව ඇත. එය අදක ඊයෙක ඇරඹුණු ක්‍රියාවක් නොවේ. වසර ගණනක් තිස්සේ කිසිදු මුදලක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී හුදෙක් සද්භාවයෙන් සිදු කරන ක්‍රියාවකි. ඔහු වෘත්තියෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකි.

“මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන විධියට මේ උදවුව කරන්නේ. අවුරුදු දහයක දොළහක ඉදන්ම මම මේ වැඩේ කරනවා. එහෙම නැත්තම් සත්තුත් අනතුරට පත්වෙනවා. මිනිස්සුන්ටත් අනතුරු වෙනවා. සමහර දවස්වලට සත්තු මේ පාරෙන් එන්නේ නැති දවසුත් තියනවා. ඇතැම් විට දවස් තුන හතර සත්තු එන්නේ නැහැ. මම ඉතින් අවධානෙන් ඉන්නේ. ඈතින් පොඩි පොඩි සද්ද ඇහෙද්දී තේරෙනවා. සමහර දවස්වලට දෙසිය පනහ තුන්සීය බැගින් පනිනවා. දහය පහළොව පනින දවසුත් තියෙනවා.” ඔහු පවසයි.
මේ ඔහුට පැවරුණු රාජකාරියක් නොවේ. වසර ගණනක් තිස්සේ සද්භාවයෙන් ඔහුගේ කරපිට පවරා ගත් රාජකාරියකි. වනයේ සතුන් පිළිබඳව අයිතිය ඇති වනජීවී දෙපාර්තමේන්තුවට මේ වගකීම පැවරුණද ප්‍රයෝගික ගැටලු හේතුවෙන් ඔවුන්ටද රාජකාරි බහුලව ඇත.
“වනජීවියේ අය එනවා. එයාලා ඇවිත් බලන් ඉන්නවා. එයාලටත් එක වාහනයයි තියෙන්නේ. ඒකෙන් තමා හැම තැනම යන්නේ. අපි කොච්චර එයාලට කෑගැහුවත් එහෙම ප්‍රශ්නත් තියෙනවා. මෙහෙ විතරක් නෙවේ හැම තැනම අලි ඉන්නවා නේ. ඒ හැම තැනම යන්න ඕනෑ. අපි එක්කත් කතා කරලා මොනවා හරි තියේ නම් කෝල් කරලා කියන්න කියලා තමා එයාලා කියන්නේ. අපි කෝල් කරේ නැත්නම් එයාලම කෝල් කරලා විස්තර අහනවා සමහර දවස්වලට” භුමියෙහි යථාර්ථය කුමාර තේරුම් ගෙන ඇතිවා සේය.
‘භාතියගේ’ මරණයත් සමඟ ගල්ගමුව වනජීවී කලාපයේ සැරිසරන ‘කාවන්තිස්ස’ ඇතුළු සෙසු ඇතුන්ගේ ආරක්ෂාව පිළිබඳව මහා විශාල කතිකාවක් පැන නැඟිණි. මේ දිනවල මඳ සමය ගත කරන කාවන්තිස්ස සිය පෙම්බරියන් සොයා අලි රංචු කරා ඇදී යන නිසාම ඌ දැක ගන්නට බොහෝදෙනා එහි ගොස් තිබුණේ උගේ ආරක්ෂාවද නොතකමිනි. මේ කලාපයේ ඇවිද යන අලි ඇතුන් බොහෝදෙනකු අඩි තබනුයේ මරණයද සමඟිනි. අනවසර විදුලිවැට බොහෝ අවදානම්ය. උන් ජීවත්වනුයේ ඒ අවදානමද සහිතවය.
“කාවන්තිස්ස බලන්න තමා ගොඩක් අය පිරුණේ. මිනිස්සු ආසයි. බැලුවට කමක් නැහැ. දෙපැත්තට වෙලා. එහෙම නැති වුණාම අහලපහල කට්ටියටත් කරදරයි. සතාටත් කරදරයි. උන්ට යන්න එන්න ඉඩ තියලා බැලුවට කමක් නැහැ. එහෙම නෑ. මෙතැනට සමහර මිනිස්සු ආවම සත්තුන්ට යන්නත් බැරි විදිහට ළඟටම වගේ යනවා. සත්තුන්ට යන්නත් නැහැ. අනතුරුත් වෙනවා. අපි අහලපහල සිටින හින්දා තමා මේ පාරේ යන හුඟාක් අය අනතුරුවලින් බේරිලා තියෙන්නේ. කියන දේ අහන අයත් ඉන්නවා. පණ්ඩිතයොත් ඉන්නවා. අලි පාර පනිනවා යන්න එපා කිව්වාම අපේ පැතිවලත් අලි ඉන්නවා. එහෙමයි මෙහෙමයි කියලා අපිටත් සද්දේ දාලා යනවා. අන්තිමට ඉතින් සමහර වෙලාවට වාහනේ පෙරළගෙන දුවන වෙලාවලුත් තියෙනවා. එහෙම අනන්තවත් වෙලා තියෙනවා.” කුමාර පැවැසුවේ එසේය.

ඉර එළිය පොළෝ තලයට වැටෙන්නටත් පෙරාතුවම පාර මාරු වන අලි ඇතුන් බලන්නට මෙහි පැමිණෙන්නෝද සිටිති. ‘සමාජ මාධ්‍යකරුවෝද’, වනජීවී ජායාරූප ශිල්පීන් යැයි කියා ගන්නා පිරිසද, හිටි අඩියේ ‘සත්ත්ව කරුණාව’ පහළ වූ පිරිසද මේ අය අතර වෙති. හොඳම දර්ශනය දැක බලා ගැනීමට යැයි පවසමින් ඇතැමුන් හැසිරෙන්නේ සතුන්ටත් නිදහස අවශ්‍ය බව මායිම් නොකරමිනි.
‘අලි මාරුවන’ දෙපස උන්ට නිදහසේ යන්න ඉඩක් තැබීම වෙනුවට මෙහි එන ඇතැම් පිරිස් ඒ අසලම වාහනය නතර කරගෙන සිටින අයුරුද දැකිය හැකිය.
මේ මිනිසුන් නිරන්තරයෙන්ම අලි හේතුවෙන් පීඩා විඳියි. සැලසුමක් නොමැති සංවර්ධන ව්‍යාපෘති හා අවිධිමත් ඉඩම් භාවිතය මේ මිනිසුන්ගේ ජීවිත තවත් දුෂ්කරතාවලට ඇද දමා ඇත. ඒ අතරේ අලි බලන්නට යැයි පවසමින් හිතුවක්කාරී අයුරින් හැසිරෙන පිරිස් ඒ කරදර තවත් වැඩි කරන බවට ගම්මු චෝදනා කරති.
“මේ සතා නිදහසේ ඉන්නේ. ඌට නිදහසේ යන්න එන්න ඉඩ දෙන්න ඕනෑ. මේ පාරේ ඉඳගෙන සත්තු යන පාර හරස් කෙරුවට පස්සේ ඒ සතා කොහෙන්ද යන්නේ. ඒ සතාට යන්න තැනක් නැහැනේ. මහා රෑ වෙනකම් ඒ සතා වත්තක් ඇතුළට හිර වෙනවා. රෑ වුණාම මේ අහල පහල වතුවල තමා ළඟින්නේ. ඌ නිදහසේ මේ පාර පැන්නට පස්සේ ඔය තියන මොනා හරි හොයාගෙන කාලා හවස් වෙලා අපහු යනවා.
මේක බලන්න මිනිසුන් ආසයි. ඒක ඇත්ත. අපි ආයේ කිසිම කෙනෙක් එක්ක තරහටවත් වෙන කිසිම දෙයකටවත් නෙවෙයි මේ කතා කරන්නේ. සතා ආරක්ෂා වෙන්නත් ඕනෑ. අපිත් ආරක්ෂා වෙන්නත් ඕනෑ. අවුරුදු ගාණකට ඉස්සෙල්ලත් මේ සතා මෙහෙම ගියා. අද ඊයේ නෙවේ. අලි සීයක් එකසිය පනහක් මෙතැනින් යනවා. ඔයිට වැඩිය හයි කාරයෝ වෙච්ච ‘දළ පුට්ටුවා’ වගේ සත්තුත් මේකේ හිටියා. කිසිම කරදයක් තිබ්බේ නැහැ. ‘කාවන්තිස්ස, කාවන්තිස්ස’ කිය කිය ඔක්කොම මෙහෙට එනවා. ඇතා මෙහෙ ඇත්තෙත් නැහැ. අනෙක ඉතින් ඇතා ඉන්න තැන කියන්න ඕනෙත් නැහැ. ඒ ඇයි කියන්නේ. ඌව ප්‍රදර්ශනය කරන්න ඕනෑ නැහැ. ඌගේ පාඩුවේ ඌ හිටපුවාවේ. ඒ සතාගේ ආරක්ෂාව බැලුවට කමක් නැහැ. ඒ සතා නිදහසේ කොහේ හරි හිටියට කමක් නැහැ. මේ මිනිස්සුන් ඇවිත් මෙතැන පිරෙනවා. මේක මේ අද ඊයේ ‘අලි යන පාරක්’ නෙවේ. අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් මේක අලි යන පාර. පීල්ල ගමේ තමා ‘ඇත් ගාල්’ තිබිලා තියෙන්නේ. එදා ඉඳල පීල්ල, ගමේ පාලුපල්ල පාරේ අලි මාරු වෙනවා. ඉස්සර නම් කැලේ. දැන් ජනාවාස වෙලා. මනුස්සයන්ට දොස් කියන්නත් බැහැ. ඒ මිනිස්සු ඊට පස්සේ අපිත් එක්ක වෛර බඳිනවා. “එසේ පැවැසුවේ වසර හැට පහක් තිස්සෙම මේ ගම්මානයේ ජීවත් වන වයි.පී පියරත්න නම් වැඩිහිටියෙකි.
වියපත් බවද අමතක කරමින් මේ අලි ඇතුන්ට ආරක්ෂාව සලසන කණ්ඩායමට ඔහුද ඉඳහිට එක්වෙයි. ඔහු පවසනුයේ මේ මඟ දෙපස කරදකාරී අයුරින් පිරිස් එකතු වන්නට පටන් ගත්තේ ඉතා මෑතකදී බවය.
“මේ වැඩි ඈතක් නැහැ. කාවන්තිස්ස මෙහෙ යනවා එනවා කියලා ඔක්කොම ඇවිත් මෙතැන පිරෙනවා. ඒක බැලුවට කමක් නැහැ. ටිකක් ඈත් වෙලා. පොලිසියටවත් කරගන්න දෙයක් නැහැ. මේ ඊයේ පෙරේදා බයික් එකක ආ දෙන්නෙක් ඇවිත් අලියාගේ ඇඟේ හැප්පුණා. සතා කල් තියා ගියා නම් ඒ දේ වෙන්නේ නැහැ. ඒත් එදා සතා යන්න පරක්කු වුණා. මනුස්සයන්ට තේරුම් කෙරුවත් කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ.
උන්ට මේ පාර පැන ගන්න බැරිව රෑ නවය විතර වෙනකම් කෑගසමින් හිටියා. පොඩි උණුත් රංචුවේ හිටියා. පාර අයිනට එනවා ආයේ යනවා. එක යුද්ධයක් වුණා. ඔය අතරේ බයික් එකක් ඇවිත් කළුවරේම ගිහින් අලියාගේ ඇඟේ හැප්පුණා. ඒ අය මේ ගැන දන්නේ නැහැ නේ. මම හිතන්නේ ඒ ගෑනු ළමයෙක්ගේ අතක්වත් පනින්න ඇති. අලියා එහෙම්ම පැන්නුවා. ඒ ළඟ තිබ්බ ගේක වතුර බට එහෙම ඔක්කොම කැඩුණා.” ඔහු පවසයි.
මේ අලි රංචුවල ගණන් හිලව් කාලයෙන් කාලයට වෙනස් වේ. උන් කුඩා කණ්ඩායම් කිහිපයකටම වෙන් වී ආහාර සොයා යයි. නෙළුම්පත් වැවේ කාලය ගත කරයි. ඒ අවට ලඳු කැලෑ අතර එහා මෙහා ගමන් කරයි. කුඩා පැටවුන් වැඩි කණ්ඩායම් නිතරම එහා මෙහා නොයන්නේ කුඩා වුන්ගේ ආරක්ෂවටය.
“අපේ අම්මලා දරුවෝ එහෙ මෙහෙ දාලා ගියාට උන් එහෙම යන්නේ නැහැ. තිරිසනා වුණත් හරියට දරුවන් පරිස්සම් කරනවා. හැම තිස්සෙම ළඟට අරන් කණ්ඩායමටම එකතු කර ගෙනයි යන්නේ. උන් ඒ තරම් පැටවුන්ට ආදරෙයි. අපි ඒකයි කියන්නේ. ඔය පැටියෙක්, බැරිවෙලාවත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දිව්වොත් ඉන්න මිනිස්සු පාගනවා. ආයේ දෙකක් නැහැ. කාගේ කවුද කියලා බලන්නේ නැහැ. පෙරහරේ යන අලිත් කුලප්පු වුණාම මනුස්සයන් පාග ගෙන යනවා නම් මේ කැලේ ඉන්න සතා විශ්වාස කරන්නේ කොහොමද?” ඔහු විමසයි.
අලි බලන්නට යැයි පවසමින් මේ මඟ අසලට බොහෝදෙනෙක් එක් රැස්වීම මේ වන විට තරමක ගැටලු මතු කරන්නක් වී ඇත. ඉන් වැඩිපුරම බලපෑම එල්ල වී ඇත්තේ ඒ අවට වෙසෙන පිරිසටය.
“උන්ට මෙතනින් පැන ගන්න බැරිවුණොත් අපේ වතුවලට තමා පනින්නේ. උන් කල් තියා ගියොත් අපිට එහෙම කරදරයක් නැහැ. වනජීවී එකේ කට්ටියත් නැහැ. ඒගොල්ලන්ට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. කාටද මේ ගැන කියන්නේ කියන එක අපිටත් ප්‍රශ්නයක්. වතුවලට පැනලා කන්න ඇබ්බැහි වුණාට පස්සේ එළවන්නත් බැහැ. මේකත් මේ යුද්දේ එක සාපයක්. මේ සත්තු මෙහෙ හිටියේ නැහැ. අසූ ගණන්වලින් පස්සේ තමා මෙහාට මේ අය ආවේ. මොනරෙක් ඇහැට දකින්න හිටියේ නැහැ. දැන් පට්ටි ගණන් ඉන්නවා.
විල්පත්තුවට එදා බෝම්බ ගහන්න පටන්ගත්තාම මේ සත්තු එළියට පැන්නා. මෙහාට ආවට පස්සේ අල බතල, කුරහන් බුදින්න තියෙද්දී උන් කැලෑ කොළ බුදින්න එහෙ යයිද ආපහු. මේ උන්ට පුරුදු නිජබිම.” පියරත්න මහතා පවසයි.
“අපි ඔය ඉල්ලලා ඉල්ලලා තමා යන්තම් මේ පාරට ලයිට් එකක් දම්ම ගත්තේ. රෑට කළුවරේ පාරෙ යන මනුස්සයකුට කිසි දෙයක් පේන්නේ නැහැ. සතෙක් හිටියත් එච්චරයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය ඉන්න මන්ත්‍රිවරයාට කියලා තමා ලයිට් දෙක දම්ම ගත්තේ. අපි ස්වේච්ඡා සංවිධානවලින් හැම කෙනකුගෙන්ම ඉල්ලුවා. ඔක්කොම හරි හෙට වෙද්දී දෙන්නම් කිව්වත්” මේ වෙනකම් කිසි දෙයක් හරි ගැස්සුවේ නැහැ. සතෙක් මාරු වෙනවා නම් එළියක් තියෙද්දී පේනවා සතෙක් ඉන්නවා කියලවත්. මේවා ඉල්ලුවේ අපේ ප්‍රයෝජනය සඳහා නෙවේ.” ඔහු කතාව අවසන් කළේ එසේය.
දුම්රිය මඟක් හරහා අලින්ට ගමන් කිරීමට සැලසුම් කළ මෙරට ප්‍රථම උමඟ මෙය බව පැවැසිණි. උමඟ ආරක්‍ෂිත වූවද මහ මඟ අලි – ඇතුන්ට අනාරක්ෂිත විය හැකිය. ඒ මඟෙහි ගමන් කරන අලි – ඇතුන් නැරඹීමට යැයි පවසමින් ‘නඩ පිටින්’ වාහන නතරකොට බලා හිඳින්නෝ එයටත් වඩා තර්ජනයක් විය හැකිය. කෙතරම් පැවැසුවත් තේරුම් නොගන්නා ඇතැමුන්ගේ ක්‍රියාකලාප නිසා වනජීවී සංරක්ෂණ කටයුතු කෙසේ වෙතත් මේ අවට මිනිසුන්ට පණබේරා ගැනීමටවත් ඉඩ සැලසුණහොත් ඇතැයි පරිසරවේදීහු පවසති.