Back to Blog

කටේ කිරි සුවඳ නොගිය ඇත් පැටවා මරා දළත් කපාගෙන

Editor
කටේ කිරි සුවඳ නොගිය ඇත් පැටවා මරා දළත් කපාගෙන

LLLF Media Team

නයනක රන්වැල්ල

තන්තිරිමලේ දං ගස් වැවට අලුත් ප්‍රබෝධයක් එක් කළ පුංචිම පුංචි ඇත් පැටියෙක් පසුගිය දවස්වල එහෙන් මෙහෙන් පෙන්න පටන් ගත්තා.ඇත් පැටියාගේ විලාසය දුටු බොහෝ දෙනා කීවේ මෙයා නම් ලස්සන ලොකු ඇතෙක් වෙයි කියලා.

කලක් තන්තිරිමලේ හිටපු මහ දළ ඇතා වගෙමයි කියලත් කියපු අය හිටියා.හැමෝම හිතුවේ එයාව ලොකු වෙනකන් රැක බලා ගන්න.

ඒත් ගෙවුණු එක් මුසල රාත්‍රියක මේ පුංචි ලස්සන ඇත් පැංචා අනවසර විදුලි රැහැනක පැටලුනා.

අනේ විලාප තියන්නත් කලින් පුංචි ඇත් පැටියා ප්‍රාණය නිරුද්ධ වෙලා ඇද ගෙන වැටුනා.එයාට එයාගේ අම්මා,පුංචි අම්මලා මේ විදුලි සැර ගැන කියලා තිබුනත් එයා හිතුවේ නැහැ මෙය මෙතරම්ම දරුණු අනතුරක් කියලා.එයා පුංචිම පුංචි බබෙක් නිසා එයාට ඒ මහ පරිමාණ දේවල් හරියටම තේරුම් ගියේ නැහැ.වගා බිමට එන සත්තුන්ව මරන්නත් පුළුවන් කියලා මොල්කාන්තලා කියලා තියෙනවා කියලත් මේ පුංචි ඇත් දඟයා දැන ගෙන හිටියෙත් නැහැ.

පහුවදා පාන්දරම හේනට ආපු අය ඇත් පැටියාගේ මළ සිරුර දැක්කා.එය දකින හැම නෙතකටම කඳුලක් එකතු කළත් මේ පාපතරයින් ඒ දිහා බැලුවේ හරියට සති ගණනක් බඩගින්නේ ඉන්න ගිජුලිහිණි රංචුවක් මළකුණක් දිහා බලනවා වගේ.

මේ දඩයම් බල්ලෝ වහා වහා පුංචි ඇත් පැටියාගේ කිරි දළ දෙක කපා ගත්තා.ඉන් පසුව සිරුරට ගිනි තිබ්බා.

වන මායිමේ ඈත කොනක ඉදන් අලි අම්මා තමන්ගේ පණටත් වඩා ආදරය කරපු අලි පුතුට මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් කරන වින්නැහිය බලා ගෙන හිටියා.

පසුගිය සැප්තැම්බර් 15 දින ඇත් පැටියාගේ මළ සිරුර වෙනත් පිරිසක් සොයාගෙන තිබුනා.මේ අහස පොළොව නුහුලන අපරාධයට තුන් දෙනෙක් සම්බණ්ධ බවට පරීක්ෂණ කණ්ඩායම්වලට වාර්තා ලැබුනා.පසුව ඔවුන්ව අත් අඩංගුවට පත් වුණා.දැන් ඒ සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඉන්නේ.

ඇත්තටම මෙවැනි අපරාධ රහිත රටක් අපි එකතුව හදන්න ඕනේ.එය අසිරු වැඩක්…..

ඒත් කළ යුතු වැඩක්….