Back to Blog

පරිසරයට ආදරය කරනජනතා විද්‍යාඥයන් වහා ඕනෑ කර තිබේ

Editor
පරිසරයට ආදරය කරනජනතා විද්‍යාඥයන් වහා ඕනෑ කර තිබේ

ජනතා විද්‍යාව, ජනතා විද්‍යාඥයන් යන්න ව්‍යවහාරයේදී එතරම් හුරුපුරුදු වචන නොවුණද පැරැණි සමාජය ප්‍රායෝගිකව අත්හදා බැලූ කාරණාය.  

සෑම වසරකම අප්‍රේල් මාසය ජනතා විද්‍යාඥ මාසය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේය. එය ආරම්භ වූයේ  2016 වසරේ සිටය. ජනතා විද්‍යාඥ දිනය යෙදෙනුයේ අප්‍රේල් 9 වැනිදාය. ජනතා විද්‍යාව යනු සාමාන්‍ය ජනතාව විසින් සිදුකරන විද්‍යාත්මක නිරීක්ෂණ සහ විද්‍යාත්මක පර්යේෂණය. ජනතා විද්‍යාවේ නියැළෙන ඕනෑම අයෙක් ජනතා විද්‍යාඥයෙක් ලෙස අරුත්ගැන්වේ. මේ සඳහා කිසිදු වයස් සීමාවක් බලනොපායි. අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවේ. විශේෂ සුදුසුකමක් අවශ්‍ය නොවේ. එහෙත් උනන්දුව අවශ්‍ය වේ. ක්‍රමානුකූල බව නම් මඟනොහැරිය යුත්තකි. නිරීක්ෂණ කරන දත්ත අනෙකා හා බෙදා ගැනීමට තරම් පරාර්ථකාමී විය යුතුය.

නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතුය. ඒවා විධිමත්ව සටහන් කළ යුතුය. එම සටහන් විශ්ලේෂණය කළ යුතුය. ඒවා අන් අයගේ දැනගැනීම උදෙසා පළ කළ යුතුය. දිගු කාලීන නිරීක්ෂණ මත විධිමත් දත්ත විශ්ලේෂණය කොට ඒවා අන් අයගේ දැනගැනීම උදෙසා පළ කරන තුරු කිසිවකුත් ජනතා විද්‍යාඥයෙක් නොවේ. කිසිදු වයස් සීමාවකින් තොරව සියලු දෙනාටම පාහේ මෙහි කොටස්කරුවන් වීමට හැකි වීම අතිශය වැදගත් කාරණයකි.

ඇතැම් විදේශීය රටවල වයස අවුරුදු දොළහේ-දහතුනේ දරුවන් පවා නව සත්ත්ව විශේෂ ලොවට හඳුන්වාදී ඇත. ලංකාවේ ජනතා විද්‍යාව යන්න එතරම් ප්‍රචලිත විෂය ක්ෂේත්‍රයක් නොවේ. පරිසර සංගම් කිහිපයක සාමාජිකයන් එක්ව පරිසර ක්ෂේත්‍රයේ එක් එක් කරුණු කාරණා සත්ත්ව විශේෂ සම්බන්ධයෙන් නිරීක්ෂණ සහ දත්ත වාර්තා කිරීම් සහ ප්‍රකාශන පළ කළද අන් කිසිවෙක් ඒ සඳහා උනන්දු වන්නේ නැති තරම්ය.

ජනතා විද්‍යා පර්යේෂණ සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආචාර්ය ජගත් ගුණවර්ධන ‘ඉරිදා මව්බිම’ට පැවැසීය. විශ්‍රාමික ප්‍රජාව වුවද මේ සඳහා යොමු වීමේ වරදක් නැතැයිද ඔහු සඳහන් කළේය. එක නිරීක්ෂණයක් වුවද එය සමස්ත පද්ධතියට බලපෑම් ඇති කළ හැකි කාරණයක් විය හැකිය. ඇතැම් විටෙක මේවා එක් නිරීක්ෂණයක සිට දිගු කාලීන පර්යේෂණයක් දක්වා වුවද විහිද යන්නක් විය හැකිය. තවත් විටෙක එක් නිරීක්ෂණයක් විද්‍යාගාරයක සිදු කරන නියැදි පරීක්ෂාවක් දක්වා වුවද විහිද යා හැකිය.

ජනතා විද්‍යාඥයෙක් ලෙස කටයුතු කිරීමේදී විෂය ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති අයකුම විය යුතු නොවේ.  පළපුරුද්දක් ඇති අයකු වීමත් අවශ්‍ය නොවේ. ජනතා විද්‍යාව විශාල පරාසයක විහිදෙන්නෙකි. මෙය පරිසර විෂයට පමණක් අදාළ වූවක් නොවේ. මේ වටා බොහෝ විෂයයන් බැඳී ඇත.  තාරකා විද්‍යාවේ  සිට සත්ත්ව විද්‍යාව දක්වා පුළුල්ව පැතිරුණු පරාසයක විහිදේ. අදටත් ලෝකයේ වැඩිපුරම ජනතා විද්‍යාඥයන් සිටින එක් විෂය ක්ෂේත්‍රයක් වන්නේ තාරකා විද්‍යාවය. පුරාවිද්‍යාවේද ජනතා විද්‍යාඥයෝ වෙති. සත්ත්ව විද්‍යාව, භූගත විද්‍යාව, පාරිසරික විද්‍යාව හා චර්යා විද්‍යාව යන විෂයන්වල සම්මිශ්‍රණයකි.

ජනතා විද්‍යා ක්ෂේත්‍රය තුළ වෙනත් විවිධ විෂය ක්ෂේත්‍රවල විශේෂඥයෝද වෙති. එහෙත් ඔවුන් විනෝදාංශ ලෙස හෝ වෙනත් යම් යම් හේතු මත තෝරා ගත් පාරිසරික හෝ සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ විෂයවල ඔවුහු ප්‍රවීණයෝය. 

දැනට මෙරට සිටින ජනතා විද්‍යාඥයන් අතරින් ප්‍රවීණතම දෙදෙනා වන්නේ වෛද්‍ය අජිත් ප්‍රනාන්දු සහ රෙක්ස් ද සිල්වා බව ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය. මේ දෙදෙනාම මේ වන විට ජීවිතයේ අටවැනි දශකයේ 

පසු වන්නෝය.

අජිත් ප්‍රනාන්දු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු වෛද්‍ය වෘත්තියට අමතරව මෙරට සිටින මුහුදු බෙල්ලන් පිළිබඳව විශේෂඥයෙකි.  ජලජ පැළෑටි හා ශාක පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි. සමුද්‍රීය අපෘෂ්ඨවංශීන් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇත්තෙකි. උඩවැඩියා ගැනද ඔහු සතුව හසළ දැනුමක් ඇත. වෛද්‍ය මලික් ප්‍රනාන්දු බෙල්ලන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ග්‍රන්ථ ලියා පළ කොට ඇත්තේය.

රෙක්ස් ද සිල්වා වෘත්තියෙන් පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූ අයෙකි.  එහෙත් ඔහු ජලජ සතුන් ගැන ප්‍රවීණයෙකි. මෝරුන් හා මඩුවන් කෙරෙහි ඔහුගේ කැමැත්ත අතිමහත්ය. ඔහු තාරකා විද්‍යාව ගැනද ඇල්මක් ඇත්තෙකි. මුහුදු පක්ෂීන් අධ්‍යයනය කරන පිරිස අතර ඔහු ජ්‍යෙෂ්ඨයෙකි. පක්ෂීන් කෙරෙහිද ඔහුගේ අවධානය යොමුව ඇත. ඔහු කොරල් අධ්‍යයනයෙහි විශේෂඥයෙකි. ලංකාවේ මෝරුන් පිළිබඳව ලියැවී ඇති එකම ග්‍රන්ථය ලියා ඇත්තේ රෙක්ස් ද සිල්වාය.

ජනතා විද්‍යාව යන වදනෙහි ඉතිහාසය 1991 තරම් මෑත කාලීන වුවද ජනතා විද්‍යාව යනු මෙරට පාරම්පරික දැනුමේ කොටසකි. අතීතයේ පටන්ම ජනතා දායකත්වයක් තිබී ඇත. ඔවුහු තමන් ජීවත් වූ පරිසරයේ අත්දකින දේවල් තම කෘෂිකාර්මික කටයුතුවලදී ප්‍රයෝගිකව භාවිත කළහ. ඉතිහාසයේ, පැරැණි ජන කතා, ජන ගී සාහිත්‍යයේ එවැනි උදාහරණ ඕනෑ තරම්ය. ශාකවල 

මල්කාලය, පල හටගන්නා කාලය, සතුන් බෝවන කාලය, උන්ගේ චර්යා රටා,  සංක්‍රමණික පක්ෂීන් දැකගත හැකි කාලය ආදිය තුළින් පැරැන්නෝ සෘතු වෙනස් වීම්, ගොවිතැන් කටයුතු සිදු කරන කාල, කාලගුණ දේශගුණ වෙනස් වීම් ආදිය ගැන අවබෝධයක් ලබා ගත්හ.

අතීතයේ පටන්ම ජනතා විද්‍යා දායකත්වයක් තිබී ඇත. ඒ පිළිබඳ සම්ප්‍රදායක් තිබී ඇත. කට වචනයෙන් සහ ප්‍රයෝගිකව ඒවා භාවිතයට ගත්තා විනා විද්‍යානුකූල අයුරින් ඒ පිළිබඳව සටහන් තබා නැත.

වසර එක්දහස් අටසිය අසූවේදී ලෙවින්සන් නම් අයෙක් මෙරට පක්ෂීන් පිළිබඳව කෘතියක් ලියා පළ කොට ඇත. එහි එක් තැනෙක අළු දෙමලිච්චෝ ගැන ලියැවී තිබේ. ඔහුට කිසි දිනෙක අළු දෙමලිච්චන්ගේ කැදැල්ලක් හමු වී නැත. එහෙත් වනයේ ගැවසෙන ස්වදේශිකයන් පවසන පරිදි  අළු දෙමලිච්චන්ගේ බිත්තර නිල් පැහැති බව ඔහු සිය කෘතියෙහි දක්වා තිබේ.

අළු දෙමලිච්ච්න්ගේ කැදැල්ලක් පළමු වරට හමුවනුයේ මේ කෘතිය ලියා වසර සියයක් පමණ ගත වූ පසුය. ඒ 1980දීය. ඒ ජෝන් බෑන්ග්ස් සහ ජූලි බෑන්ග්ස් යුවළටය. එහි බිත්තර නිල් පැහැතිය. ඒ බව විද්‍යාත්මකව ලොවට අනාවරණය වීමට පෙර අපේ පැරැන්නෝ දැන සිට ඇත.

ඉදිරි වගා කන්නයේ අධික වර්ෂාවක් ලැබෙන්නේ නම් දිවුල්, බෙලි, සියඹලා හා දඹ ආදී ගස්‌වල අධික ලෙස ගෙඩි හටගන්නා බව පැවැසේ. කටුපිල ශාකවල වැඩි ලෙස මල් පිපෙන්නේද අධික වර්ෂාපතන කාලයක් ළං වූ විටය.  එළැඹෙන කන්නයේ නියඟයක් පැමිණෙන්නේ නම් ඇසටු බෝ සහ කටුපිල ගස්‌වල බොහෝ මල් පිපේ. කළු කූඹි රංචු පිටින් උන්ගේ බිත්තරද ඔසවා ගෙන පදිංචි නිවෙස් තුළට පැමිණෙන්නේ නම් වැස්සක් අත ළඟය. දිමියෝ සිය ගොටු කලබලයේ පිළිසකර කරන්නේ නම් එවිටද වැස්ස ළඟය. කිරලුන් වැව් කන්දට ආසන්නයේම එහි තාවුල්ලේ බිත්තර දමන්නේ නම් වැස්ස ඉතා අඩුය. වැව් තාවුල්ලේ මැද්දට වන්නට බිත්තර දමන්නේ නම් තරමක වැසි ඇදහැලේ. වැව් තාවුල්ලේම කෙළවර කැලෑ කුට්ටිය ආසන්නයේ කූඩු සාදයි නම් මොරසූරන වැසි වැටේ.  මයිනා හිටිහැටියේ කලබලයෙන් උගේ හුරුපුරුදු  නදට වඩා වෙනස් හඬක් නඟන්නේ නම් පැය දෙකක් තුළ වැසි ඇදහැලේ.

අතීතයේදී මෙවන් වූ නිරීක්ෂණ බොහෝ ප්‍රමාණයක් මත අනාවැකි පළ කොට ඇත. මෙවන් අනාවැකි ජන ගී තුළද වේ. තරු රටා තුළින්ද ඔවුහු විවිධ නිගමනවලට එළැඹුණහ. ඇතැම් මල් හටගන්නා කාලයට එහි රොන් උරා ගන්නා මී මැස්සන්ගේ පැණි ඒ මල්වල රසින් රසවත් වන බව වියළි කලාපයේ වැසියෝ දැන උන්හ.

අඹ ගස් දලුලන්නේ ඊසාන දිග මෝසම ආසන්නයේය. බුරුත ගස්වල මල් පිපේ නම් වැස්සක් ආසන්නය. නිරීක්ෂණ මත නිගමනවලට එළැඹීමේ ක්‍රමවේදය අතීතයේදී අඩුවැඩි වශයෙන් මෙරටදී භාවිත කොට ඇත. ඒ නිසා මෙය බටහිරින් පැමිණි අලුත් දෙයක් නම් නොවේ. එය විධිමත් ලෙස අධ්‍යයනය කිරීමට පටන් ගත්තේ මෑතක සිටය. ජනතා විද්‍යා මාසයක් වෙන් කොට ඇත්තේ මේ සමාජයේ අවධානය යොමු කිරීමටය. වැඩි වැඩියෙන් ඒ සඳහා පිරිස් පොලඹවා ගැනීමටය. සංරක්ෂණ කටයුතු සඳහා දැනුම රැස්කර ගැනීමටය.

ප්‍රජා ජනතා විද්‍යාව යනු මෙයම සාමූහිකව සිදු කිරීමය. එක් පරිසර පද්ධතියක්, ශාක විශේෂයක් ගැන හෝ සත්ත්ව විශේෂයක් වෙන වෙනම පර්යේෂණ කිරීමය.  

වෙන වෙනම පර්යේෂණ සිදු කළද අවසානයේදී ඒ සියල්ල එකට එක් කරගනී.

එකම පරිසර පද්ධතියක් පිළිබඳව විවිධ කණ්ඩායම් එක් වී කටයුතු කිරීම තවත් ක්‍රමයකි. අනෙක් ක්‍රමය වන්නේ එකම ශාක හෝ සත්ත්ව විශේෂයක් ගැන එකම ප්‍රදේශයක පිරිසක් එක් වී කටයුතු කිරීමය. හුදෙකලාව හෝ කිහිප දෙනෙක් එක්වී පර්යේෂණ කරනවා වෙනුවට වැඩි ජනතා සහභාගිත්වයකින් පර්යේෂණ කිරීම මෙහි සාධනීය ලක්ෂණයකි. මෙවන් දෑ මෙරටද සිදු වේ. ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා සංගමය සෑම වසරකම සිදු කරන අවුරුදු පක්ෂි සංගණනය එවැන්නකි. එහි ගණන් තැබෙනුයේ අවුරුදු කාලයේ දක්නට ලැබෙන පක්ෂීන් ගැනය.

මෑත කාලයේ ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ මාධ්‍යවේදියෙක් වන සජීව විජේවීර ජීවත්වන ගාල්ලේ හපුගල නිවෙසින් අමුතු හත්තක් සොයා ගැනීමය. අමුතු හත්තක් යැයි පැවැසුවද මෙය ලෝකයට අලුත් විශේෂයක් නම් නොවේ. මින් පෙර මේ  මුලින්ම හමුව තිබුණේ 1919 වර්ෂයේදීය. ඒ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උණ ගස් වැවී තිබූ ස්ථානයකය. ඒ හැර වෙනත් කිසිදු ස්ථානයකින් මේ හතු විශේෂය පිළිබඳව වාර්තා වී තිබුණේ නැත. පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් හැර වෙනත් ස්ථානයකින් මේ හතු විශේෂය විද්‍යාත්මක ලෙස වාර්තා කරනලද පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඔහුගේ ගෙවත්තේ ඇති ගලක් පලාගෙන එළියට ඇදී ඇති පුරුෂ ලිංගයක් වැනි රතු පැහැති හත්තක දර්ශනය අවසානයේදී විද්‍යාත්මක පත්‍රිකාවකින් කෙළවර විය. වෘෂණ කෝෂ දෙකක් වැනි කොටසක්ද සහිතව පිපී තිබූ මේ හත්ත අධික දුර්ගන්ධයකින් යුක්ත වූවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාක පර්යේෂක භාතිය ගොපල්ලව හා එක්ව සජීව මේ පිළිබඳව තතු සොයා ඇත්තේ එය නව විශේෂයක් ලෙසට වූ අනුමානය නිසාය. එහෙත් මුටිනාස් බුම්බුසිමාස් ලෙස විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ හතු විශේෂය මින් පෙර පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී හමු වූ බවට තතු වාර්තා වී ඇත.

ඒ හැර වෙනත් ස්ථානයකින් විද්‍යාත්මක ලෙස වාර්තා කරනලද පළමු අවස්ථාව මෙය නිසා භාතිය ‍ගොපල්ලව, දීප්ති යකන්දාවල, සජීව විජේවීර,  ජී.කේ.අයි.එස්. මාදොළ, එන්.කේ.බී. අධිකාරම් යන පිරිස පිරිසගේ නමින් ඉකුත්දා මේ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකාව එළිදැක්විණි.

නාගරික ජනතා විද්‍යාව මෙහි ඇති තවත් පැතිකඩකි. අද වන විට ලංකාවේ බහුතරයක් ප්‍රදේශ නාගරීකරණයට ලක්ව ඇත. එසේත් නොමැති නම් නාගරීකරණයට ලක්වෙමින් පවතියි. බොහෝ දෙනෙක් ජීවත් වන්නේද නාගරීකරණය වූ ප්‍රදේශවල හෝ අර්ධ නාගරීකරණයට ලක් වූ ප්‍රදේශවලය. එහි ඇති සත්ත්ව ශාක විවිධත්වය විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් හෝ ලක්ව ඇත. එනිසාම ඒ සම්බන්ධයෙන් නිවැරැදිම තොරතුරු නැත. ඇතැම් සත්ත්ව හෝ ශාක විශේෂ විනාශ වූ බවට පැවසුණද ඒ පිළිබඳව විද්‍යාත්මක සනාථ කිරීම් නැත. තරුණ කොටස් අතර කුතුහලය පිරිය වෙසේ. ඔවුන් නිතැතින්ම නව කාරණා ගවේෂණය කරයි. නාගරික ප්‍රදේශවල බලන්නට තරම් සතුන් හෝ ශාක නොමැති බවට ඇතැමකු තුළ දුර්මතයක්ද පවතී. අනෙක් අතට ගත් කළ මානසික ආතතිය, පීඩනය ආදියට සතුන් හෝ ශාක නිරීක්ෂණය වඩාත් සාර්ථක පිළියමකි. එකිනෙකාගෙන් ඈත්වීම වෙනුවට කුඩා කණ්ඩායම් ලෙස සම්බන්ධ වී ජනතා විද්‍යාඥයන් බවට පත්වීම කළ හැකිය.

මෙය නුහුරු වචනයක් වුවද සෑම දෙනෙක්ම පාහේ එදිනෙදා දැන හෝ නොදැන ජනතා විද්‍යාඥයකුගේ කාර්යය ඉටු කරන බව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ පරිසර ක්‍රියාකාරී කමිටුවේ උප සභාපති නීතිඥ ලක්ෂිත එදිරිසිංහ ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

 නිවෙස ආසන්නයට හෝ ගෙවත්තෙහි ගසකට පැමිණෙන කුරුල්ලන් ආදිය නිරීක්ෂණය කිරීම හෝ ඒ ගැන තවත් අයකුගෙන් විමසීම ඕනෑම අයෙක් කරන ක්‍රියාවකි. මේ ගෙවනා ජීවන රටාව සමඟ පරිසරයෙන් ඈත්වීම නිසා බොහෝ විට ඒ වෙනුවෙන් වෙන් කිරීමට තරම් කාලයක් බොහෝ දෙනකුට නැත.

මෙවන් කටයුත්තකදී එය විද්‍යාත්මක කාර්යයක් බවට පත් කරගැනීමට අවශ්‍ය මූලාශ්‍ර ඕනෑ තරම් පවතී. යම් සංගමයකට හෝ සංවිධානයකට බැඳීම එක් ක්‍රමයකි. එසේත් නොමැති නම් ස්වයංව අධ්‍යයනය කළ හැකිය. අන්තර්ජාලය පරිශීලනය කළ හැකිය. නැතහොත් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් සමඟ හෝ සම්බන්ධ වී මේ පිළිබඳව දැන ගත හැකිය. අත්දැකීම් බෙදා හදා ගත හැකිය. මේ කර්යයේම නියැළෙන තවත් අයකු සමඟ වුවද කතාබහ කළ හැකිය. එහෙත් මේ සියල්ලටම අවශ්‍ය වන්නේ උනන්දුව සහ ආශාවයි. එය ඇති කර ගැනීමට නම් පරිසරය හා දුරස් වී ඇති සම්බන්ධතාව යථාවත ශක්තිමත් කරගත යුතුය.

යමකුට මේ පිළිබඳව ඇති අයිතිය ප්‍රශ්න කළ හැකිය. පරිසරය ආරක්ෂා කර ගැනීමට හා විනාශකාරී ක්‍රියා නතර කිරීමට මෙරට සෑම පුරවැසියෙක්ටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පැවරී ඇත්තේය. ජනතා විද්‍යාව යනු එහි වගන්තිවලම කොටසකි.  පරිසරය එහි වටිනාකම සහ අංගයන් ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියකුගේම යුතුකමකි. ජනතා විද්‍යාඥයෙක් යනු පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිවැරැදි දත්ත සමාජයට, ලබා දීමය. පරිසරයේ වෙනස්කම් ගැන නිවැරැදි අධ්‍යයනයක් සහිතව සමාජයට දැනුම් දීමය.