කුඩා භූමි ප්‍රමාණයක ආවේණික ශාක හා සත්ත්ව විශේෂවල ඉහළ ඝනත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන 36 න් එකක් ලෙස පිළිගැනේ. කඳුකර වනාන්තරවල සිට වෙරළබඩ තෙත්බිම් දක්වා විශාල විධත්වයක් දිවයිනේ පරිසර පද්ධති තුළ ද හදුනා ගත හැකිය. මෙම පරිසර පද්ධති කාබන් තිර කිරීම, ජල නියාමනය සහ මිලියන ගණනකගේ ජීවනෝපාය සහාය වැනි තීරණාත්මක පරිසර පද්ධති සේවා සපයයි. එවැනි පසුබිමක් තුළ පරිසරය රක්ෂණය කිරීම යනු තවත් එක් මාතෘකාවකින් ඔබ්බට ගොස් අත්‍යන්තයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුත්තකි. මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයේ පසුබිම සහ අභියෝග පිළිබඳව සැකෙවින් සාකච්ඡා කිරීමයි.

Jazeel (2013) සඳහන් කරන පරිදි, ස්වභාව ධර්මය සමකාලීන ශ්‍රී ලාංකික සමාජයේ කේන්ද්‍රීය සැලකිල්ලක් ලෙස පවතී. ආගමික හා සංස්කෘතික බලපෑම් - විශේෂයෙන් බුද්ධාගම - සංරක්ෂණ ප්‍රතිපත්ති සහ භාවිතයන් හැඩගැස්වීමට හේතුවී ඇත. වත්මන් ප්‍රතිපත්ති න්‍යාය පත්‍රවල පවා මෙම බලපෑම් පැහැදිලිව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සංරක්ෂණ ඉතිහාසය සැලකීමේදී පුළුල් ලෙස වෙනස් කාල පරිච්ඡේද තුනකට බෙදිය හැකිය. එනම්, පූර්ව යටත් විජිත, යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත (වර්තමාන) යුගයි. පූර්ව යටත් විජිත යුගයේදී, සංරක්ෂණය ප්‍රධාන වශයෙන් බෞද්ධ මූලධර්ම මගින් මෙහෙයවනු ලැබූ අතර, ප්‍රජා වනාන්තර කළමනාකරණය සහ රාජකීය නියෝග මූලික විය. ඊට වෙනස්ව, යටත් විජිත යුගය ස්වභාවික සම්පත් සූරාකෑම සහ විනෝදාස්වාදය හා දඩයම් කිරීම සඳහා වනාන්තර සංරක්ෂණය කිරීමට ප්‍රමුඛත්වය දුන්නේය. වර්තමාන සංරක්ෂණ උත්සාහයන් මුලින් යටත් විජිත ප්‍රවේශයන් පිළිබිඹු කළ අතර, ජීව විද්‍යාත්මක සම්පත් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, 1980 ගණන්වල සිට, ප්‍රජා පාදක වන වගාව සහ දේශීය ආර්ථික සංවර්ධනය සංරක්ෂණ උපාය මාර්ගවලට ඒකාබද්ධ කිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් සිදු විය.
මෙම සංක්‍රාන්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ 1980 වන වනාන්තර ප්‍රතිපත්තිය වන අතර එය පරිසරය, පස සහ ජල සම්පත් ආරක්ෂා කිරීම සඳහා වන ආවරණය පවත්වා ගැනීම, සංරක්ෂණය කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගෙන ඇත. සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, ඓතිහාසික සහ සමාජ-ආර්ථික හේතූන් මත දේශීය ශාක හා සත්ත්ව විශේෂ සංරක්ෂණය කිරීම ද එය අවධාරණය කළේය. මෙම ප්‍රතිපත්තිය මගින් පුද්ගලික වනාන්තර සහ වන වගා ගොවිපලවල් ස්ථාපිත කිරීමේදී ප්‍රජා සහභාගීත්වය දිරිමත් කරන සමාජ වන වගා වැඩසටහන් හඳුන්වා දෙන ලදී - එය සංරක්ෂණය සඳහා බිම් මට්ටමේ සහභාගීත්වයේ ආරම්භය සනිටුහන් කරයි (De Zoysa, n.d.).
20 වන සියවසේදී සංරක්ෂණය සඳහා විධිමත් ආයතනික රාමුවක් ක්‍රමයෙන් වර්ධනය වීම දක්නට ලැබුණි. 1980 ගණන්වලදී, ප්‍රතිපත්ති, සහභාගීත්වය, වගවීම, පුරෝකථනය කිරීමේ හැකියාව සහ විනිවිදභාවය ඇතුළුව සමකාලීන යහපාලන මූලධර්ම පිළිබිඹු කිරීමට පටන් ගත්තේය (De Zoysa & Inoue, 2008). වන ප්‍රතිපත්තියට අමතරව, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කරන ලද අතර එය පාරිසරික කළමනාකරණය සහ සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතු මූලික ආයතනය බවට පත්විය. මෙම නීති සම්පාදනය පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) සහ මූලික පාරිසරික පරීක්ෂණ (IEE) ක්‍රියාවලීන් ද හඳුන්වා දුන් අතර, නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒවායේ පාරිසරික බලපෑම් ඇගයීමට අවශ්‍ය විය. එහි නීතිමය විධිවිධාන ශක්තිමත් කිරීම සහ පාරිසරික ආරක්ෂණ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම සඳහා 1988 සහ 2003 දී පනත සංශෝධනය කරන ලදී.
1982 සිට, ආසියානු සංවර්ධන බැංකුව (ADB), UNDP, USAID, AUSAID සහ DAD විසින් අරමුදල් සපයන ලද අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වැඩසටහන් සමඟින්, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජා වන වගා මුලපිරීම් සඳහා සහාය ලබා දී ඇත (De Zoysa & Inoue, 2008). මෙයින් මුල්ම හා වඩාත්ම වැදගත් එකක් වූයේ1982 දී දියත් කරන ලද ප්‍රජා වන වගා ව්‍යාපෘතියයි (CFP). වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරන ලද සහ ADB විසින් මූල්‍යමය වශයෙන් සහාය දක්වන ලද CFP, රජය සතු ඉඩම්වල දර සදහා ගන්නා ශාක සිටුවීම, කළමනාකරණය කිරීම සහ අස්වැන්න නෙළීම සඳහා දේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම අරමුණු කළේය (Bharathie,1985). වනාන්තර ප්‍රදේශ වටා ස්වාරක්ෂක කලාපවල (Buffer zone) ජීවත් වන ප්‍රජාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය මෙහි ප්‍රධාන ලක්ෂණයක් විය. 1985 වන වගා ප්‍රධාන සැලැස්ම සහ 1995 ජාතික වන ප්‍රතිපත්තිය, පරිසර පද්ධති ආරක්ෂාව සහ ප්‍රජා ජීවනෝපායන් ප්‍රවර්ධනය කිරීම මගින් සංරක්ෂණ උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.1995 වන වගා අංශ ප්‍රධාන සැලැස්ම සහභාගීත්ව පාලනය අවධාරණය කළ අතර, රජයේ ආයතනවලට පමණක් වනාන්තර ඵලදායී ලෙස කළමනාකරණය කළ නොහැකි බව හඳුනා ගත්තේය. එය රාජ්‍ය, ප්‍රජා සහ පෞද්ගලික කොටස්කරුවන් සම්බන්ධ වන වනාන්තර කළමනාකරණ කමිටු ඇති කිරීමට හේතු විය. (බණ්ඩාර, 2017).
පසුකාලීනව හදුන්වා දුන් ප්‍රතිපත්ති අතර ධීවර හා ජලජ සම්පත් පනත (1996), ජාතික උරුම වනගත ප්‍රදේශ පනත (1988) සහ ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගය සහ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රමුඛ වේ. ධීවර හා ජලජ සම්පත් පනත (1996) පනත මගින් ගොඩබිම හා සමුද්‍රීය ධීවර කර්මාන්තය සහ ජලජ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරයි. ඒ සඳහා උපදේශක සභාවක්ද පිහිටුවා ඇත. කෙසේ වෙතත්,සීමිත සම්පත් නිසා දුරස්ථ ප්‍රදේශවල බලාත්මක කිරීම දුර්වල වී ඇත. තවද,අධික ලෙස මසුන් ඇල්ලීම, වාසස්ථාන හායනය සහ විවිධ ආයතන අතර ඇති සම්බන්ධීකරණ ගැටලු ප්‍රධාන අභියෝග වේ. ජාතික උරුම වනගත ප්‍රදේශ පනත (1988) පනත අද්විතීය පරිසර පද්ධති සහ තර්ජනයට ලක් වූ විශේෂවල වාසස්ථාන ආරක්ෂා කරයි. මෙහිදී අවසරයකින් තොරව ප්‍රවේශ වීම සහ සම්පත් නිස්සාරණය තහනම් කර ඇත. පනතට ශක්තිමත් නීතිමය පසුබිමක් තිබුණද, මේ යටතේ ප්‍රකාශිත ප්‍රදේශ සංඛ්‍යාව අඩුය. දඩ මුදල් අඩු වීම, බලාත්මක කිරීමේ සීමාවන් සහ මහජන දැනුවත්භාවය අඩු වීම මෙහි ප්‍රධාන අභියෝග වේ.

වර්තමානය වන විට විෂය පථය සම්බන්ධ දැනුවත්භාවය පුළුල් කිරීමට අදාල ප්‍රතිපත්ති රාමුවක් හදුන්වා දී ඇති බව මෑත කාලීන උපාය මාර්ග විමසීමේ දී පෙනී යයි. උදාහරණ ලෙස ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගය සහ ක්‍රියාකාරී සැලැස්ම පෙන්වා දිය හාකිය. ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියට අනුකූලව සංවර්ධනය කරන ලද මෙය ,වාසස්ථාන ආරක්ෂාව, විශේෂ සංරක්ෂණය සහ තිරසාර භාවිතය කෙරෙහි අවධානය යොමු කරන ලදී. මීට අමතරව රතු දත්ත ලැයිස්තු තක්සේරු කිරීමේ වාර්තාවද වැදගත්වේ. මෙය ආවේණික විශේෂවලට ඇති තර්ජන පිළිබඳ කරුණු හෙළි කරයි. උදා: උභයජීවීන්ගෙන් සහ මිරිදිය කකුළුවන්ගෙන් 50% කට වඩා තර්ජනයට ලක්ව ඇති බව ලැයිස්තුගත කර ඇත (Ministry of Environment & Renewable Energy, 2012).

මෙවැනි ශක්තිමත් නීති රීති රාමුවක් පැවතියද දිවයිනේ ස්වභාව සංරක්ෂණයේදී මුහුණ දෙන අභියෝග අතුරින් ප්‍රමුඛ ගැටලු පිළිබදව අප සැකෙවින් අවධානය යොමු කරමු. වාසස්ථාන හායනය සහ අහිමි වීම, පරිසර දූෂණය, දේශගුණික විපර්යාස, ආක්‍රමණශීලී විශේෂ, අධික ලෙස සම්පත් සූරාකෑම, සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති හා ඒ්වා බලාත්මක කිරීමේ අඩුපාඩු මේ අතර වේ. මෙම අභියෝග එකිනෙකට සම්බන්ධව සංකීර්ණ ජාලයක් ලෙස අත්දැකිය හැකිය. උදාහරණයක් ලෙස වන විනාශය සලකා බලමු. කෘෂිකර්මාන්තය, නාගරීකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ නීති විරෝධී දැව කැපීම හේතුවෙන් විශාල වශයෙන් වනාන්තර විනාශ වීම සිදුවේ. මෙය වාසස්ථාන ඛණ්ඩනය වීමට හා ජෛව විවිධත්වය හායනයට හේතු වේ. තෙත් කලාපයේ වැසි වනාන්තර ඒවායේ මුල් ප්‍රමාණයෙන් 20% කටත් වඩා අඩු වී ඇත. එසේම මිනිස් ජනගහනය වර්ධනය වීමත් සමඟ සංවර්ධන ව්‍යාපෘති පුලුල් වීම සිදුවේ. මෙම තත්වය නිසා වනජීවී වාසස්ථානවලට මිනිසුන් ඇතුළු වීමටත් නොනවතින ගැටුම් (විශේෂයෙන් අලි ඇතුන්) ඇති කිරීමටත් හේතු වේ. මෙය වන ජීවීන් ඝාතන වලට තුඩු දෙන අතර මෙම විශේෂයන්ට තවදුරටත් තර්ජන ඇති කිරීමට හේතුවේ. වඩාත් ශෝචනීය තත්වය නම් ගම්මාන සහ ප්‍රජාවන්ද මෙහි පීඩිතයන් බවට පත්වීමයි. එය තිරසර සංවර්ධන අභිමතාර්ථ ලගා කරගැනීම තව තවත් ඈතට තල්ලු කිරීමට හේතුවේ. මෙම අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති, ඵලදායී බලාත්මක කිරීමේ යාන්ත්‍රණ, ප්‍රජා සහභාගීත්වය සහ මහජන දැනුවත්භාවය ඉතාම වැදගත් බව මෙහි දී අවධාරණය කළ යුතුය.
මූලාශ්‍ර:
බණ්ඩාර, T.W. (2017). ශ්‍රී ලංකාවේ පාරිසරික නීති සහ ප්‍රතිපත්තති. දයාවංශ ජයකොඩි සහ සමාගම.
හේරත්, කරුණාරත්න (2015) වන සංරක්ෂණ නීතිය. විජය ප්‍රකාශකයෝ, අනුරාධපුර.
Bharathie, K. P. (1985). Stabilization of rural communities through community forestry in Sri Lanka. Community forestry: socio-economic aspects, 401-406.
De Zoysa, M., & Inoue, M. (2008). Forest governance and community-based forest management in Sri Lanka: Past, present and future perspectives. International Journal of Social Forestry, 1(1), 27–49.
De Zoysa, M. (n.d.) A Review of Forest Policy Trends in Sri Lanka. Available at: Must specify DOI or URL if using the accessed field (Accessed: 4 March 2021).
Jazeel, T. (2013). Sacred Modernity: Nature, environment and the postcolonial geographies of Sri Lankan nationhood. Liverpool University Press.
Ministry of Environment & Renewable Energy. (2012). The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment & Renewable Energy, Colombo, Sri Lanka.
LLLF Media Team
චම්පිකා ජයතිලක