Back to Blog

මූදේ අලියා ‘අලි මඩුවා’ අලි අමාරුවක වැටෙන ලකුණු

Editor
මූදේ අලියා ‘අලි මඩුවා’ අලි අමාරුවක වැටෙන ලකුණු

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත්පතේ සවනි ශේශාධි

ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන්නේ අලියාය. අලියා හා සමාන ජෛව විද්‍යාත්මක වටිනාකමින් යුතු ජීවියෙක් මුහුදෙහි වෙසේ. ඒ අලි මඩුවාය. ගොඩබිමෙහි වෙසෙන අලියා ගැන නිරන්තරයෙන් කතාබහ කෙරුණද මුහුදෙහි වෙසෙන අලියා ගැන කතාබහක් නොවන තරම්ය. සාගරයෙහි වෙසෙන විශාලතම මඩු විශේෂය වන්නේ සාගර අලි මඩුවාය. ප්‍රමාණයෙන් ගත් කල ඌ ඉතා විශාලය. ඇතැම්විට අලි මඩුවෙකු අඩි විසි තුනක් පමණ ඉක්මවන අවස්ථාද ඇත. අලි මඩුවන්, යක් මඩුවන් එසේත් නොමැති නම් මහ මඩුවන් යන නම්වලින් හඳුන්වන මේ මසුන් වෙනුවෙන් වෙන් වූ දිනය සැප්තැම්බර් මස 17 වැනිදාට යෙදී තිබිණි. මෙවර එහි තේමාව වූයේ ‘ආරක්ෂාවේ බලය’ යන්නය.

සංක්‍රමණික සතුන් ආරක්ෂා කර ගැනීමේ අන්තර්ජාතික සම්මුතිය (බොන් සම්මුතිය) ප්‍රකාරවද මේ සතුන් ආරක්ෂිතය. සයිටීස් ප්‍රඥප්තියේ දෙවැනි උප ලේඛනය අනුවද මේ සතුන් ආරක්‍ෂිතය. මේ සම්මුති හා ප්‍රඥප්ති ප්‍රකාරව ඒවායෙහි පාර්ශ්වකරුවෙකු ලෙස අලි මඩුවන් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකාවටද පැවැරී ඇත. එහෙත් තවමත් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ කිසිදු මහ මඩු විශේෂයකට මෙතෙක් නීතිමය ආරක්ෂාවක් සැලසී නැත. වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ ජීවීන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය යටතේ පවත්වාගෙන යන දත්ත පද්ධතියට අනුව  මහ මඩුවන් සම්බන්ධයෙන් රටක් ලෙස අපට හිමිව ඇත්තේ අපකීර්තිමත් ස්ථානයක් බව ආචාර්ය ජගත් ගුණවර්ධන ‘ඉරිදා මව්බිම’ට පැවැසීය. එම දත්ත අනුව ලොව වැඩිම අලි මඩු ඝාතනයේ යෙදෙන සහ එම මසුන්ගේ කරමල් පෝරු අපනයනයේ ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකා මුහුදේ, අනාරක්ෂිත සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මඩුවන් ඇල්ලීම අති  බහුලවී ඇති බවට සාධක හමුවෙයි – The Bufferzone

මඩුවා සාගරයෙහි වෙසෙන විශාලතම මසුන් අතරින් එක් විශේෂයකි. උන් කාටිලේජ මසුන් ගණයට අයත්ය. මසුන් මූලිකවම කොටස් දෙකකට අයත්ය. එක් කොටසක් අස්ථික මසුන්ය. බලයා, කෙලවල්ලා, තෝරා ආදී මසුන් මේ කොටසට අයත්ය. අනෙක් කොටස කාටිලේජ මසුන්ය. මඩුවන්, මෝරුන් අයත් වන්නේ මේ කොටසටය. මේ මසුන්ගේ සැකිල්ල සැකසී ඇත්තේ කාටිලේජවලිනි. එය මිනිස් කන නහයෙහි තුඩ ආදී තැන් සැකසී ඇති කාටිලේජ හා සමාන සැකැස්මකි. 

පොදුවේ ගත් කල අලි මඩුවන් ඉංග්‍රීසි බසින් Manta Ray ලෙස හැඳින්වේ. ලංකාව ආශ්‍රිතව දැනට දැකගත හැක්කේ සාගර අලි මඩුවන්ය. උන් ඉංග්‍රීසි බසින් Oceanic Manta Ray ලෙස හැඳින්වේ. විද්‍යාත්මකව උන් හැඳින්වෙන්නේ Mobula birostris ලෙසය. පොදුවේ අලි මඩුවන් අයත් වන්නේ මොබියුලිඩේ පවුලටය. උන් අයත් වන්නේ මොබියුලා කුලයටය. මේ කුලයට අයත් තවත් අඟ මඩුවන් විශේෂ පහක් ලංකාව අවට මුහුදු කලාපයේ දැකිය හැකිය. කුඹුක් මඩුවා මේ අතරින් එකෙකි. ඉංග්‍රීසි බසින් Sicklefin Devil Ray යනුවෙන් හඳුන්වන මේ මසුන් විද්‍යාත්මකව Mobula tarapacana ලෙස හැඳින්වේ. කටු වලිග අඟ මඩුවා තවත් විශේෂයකි. මේ මසුන් ඉංග්‍රීසි බසින්  Spinetail Devil Ray යනුවෙන් සහ විද්‍යාත්මකව Mobula mobular ලෙස හැඳින්වෙයි. ඉංග්‍රීසි බසින් Bentfin Devil Ray නමින් හැඳින්වෙන නැමි වරල් අඟ මඩුවා මෙරට සාගර කලාපයේ දැකිය හැකි තවත් මඩුවන් විශේෂයකි. උන් විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Mobula thurstoni ලෙසය. කෙටි අං අඟ මඩුවා තවත් විශේෂයකි.

විද්‍යාත්මකව Mobula kuhlii ලෙස හැඳිවෙන මේ මසුන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ Shorthorned Pygmy Devil Ray ලෙසය. දිගු අං වාමන අඟ මඩුවාද මේ කලාපයේ දැකිය හැකිය. උන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ Longhorned Pygmy Devil Ray ලෙසය. විද්‍යාත්මකව Mobula eregoodoo ලෙස හැඳින්වෙයි.

මූදේ අලියා 'අලි මඩුවා' අලි අමාරුවක වැටෙන ලකුණු - මව්බිම

සාගර අලි මඩුවා කාර්යබහුලම සංක්‍රමණ රටාවක් හිමි මඩු විශේෂයකි. මේ සත්තු උපරිම සෙන්ටිමීටර් හත්සියයක් එසේත් නොමැති නම් අඩි විසි තුනක් දක්වා පළලකට වර්ධනය වෙති. උන්ගේ බර කිලෝග්‍රෑම් දෙදහසක් හෝ එයටත් වඩා වැඩි අගයක් වුවද දක්වයි. අලි මඩුවා වෙනත් බොහෝ මඩුවන් මෙන් දළ වශයෙන් රොම්බස හැඩයක් ගනී. ශරීරය දෙපසින් ත්‍රිකෝණාකාර වරල දෙකකි. වලිගය සිහින් දිගු කූරක් සේය. මුඛය විශාලය. ඇස් දෙක කුඩාය. මුඛය දෙපස ඉදිරියට නෙරූ පැතැලි හැඩැති විශේෂිත ව්‍යුහයන් දෙකකි. ඒවා ශීර්ෂ වරල් ලෙස හැඳින්වේ. උන් ශ්වසනය කරන්නේ පිහිනා යන විට මුඛය තුළින් ඇතුළු වී උගේ කරමල් හරහා ගමන් ගන්නා ජලයෙන් නිසා ඌ සෑම විටම එහා මෙහා පිහිනයි.

අලි මඩුවන්ගේ කරමල්, ලෝකයේ මිල අධිකම වෙළෙඳ භාණ්ඩ අතරින් එකක් ලෙස ගැනේ. මේවා විවිධ ආහාර වට්ටෝරු සැකසීමට යොදා ගන්නා බව පැවැසේ. එනිසාම ඒ කරමල් පෝරු ලබා ගැනීමට කෙතරම් විශාල සතෙකු වුවද මරා දැමීමට ලෝකයේ ඇතැම් පිරිස් පෙලඹී සිටින බව ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

ඕෂන් රෝසි පර්යේෂණ ආයතනයේ සම නිර්මාතෘ බුද්ධි මහේෂිකා පතිරණ ‘ඉරිදා මව්බිම’ට පැවැසුවේ චීනය වැනි රටවල් මේ කරමල් පෝරු ඖෂධීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා බවය. 

එය සියුම් කුඩක් ලෙස හෝ සුප් හා වෙනත් ආහාර ගැනිමේදී කොටස් වශයෙන් එක් කරන බව පැවැසේ. එනිසාම මේ සතුන් විශේෂය කෙරෙහි අන්තර්ජාතිකව විශාල වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් තිබෙන බවද ඇය කීවාය. 

ලංකාවේ මේ කරමල් සඳහා ඉල්ලුමක් නැතත් මඩු මාංස සඳහා යම් ඉල්ලුමක් පවතී. ඒවා කරවල සැකසීම සඳහා බහුල ලෙස යොදා ගැනේ. එහෙත් වෙළෙඳපොළේ වැඩි වටිනාකමක් හිමිව ඇත්තේ කරමල් සඳහාය. අන්තර්ජාතික වශයෙන් මේ සතුන් දඩයම් කිරීම ගහනයේ පැවැත්ම කෙරෙහි දැඩිව බලපා ඇත. අඩු පැටවුන් ප්‍රමාණයක් බිහි කිරීම හා මන්දගාමී වර්ධන රටාවක් පෙන්නුම් කිරීම නිසා මෙය තවත් තීව්‍ර වී ඇත.

වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ ජීවීන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය හෙවත් සයිටීස් සම්මුතිය මඟින් 2013 වසරේදී අලි මඩුවා එහි දෙවැනි උප ලේඛනයට ඇතුළත් කෙරී ඇත. මේ යටතේ වෙළෙඳාමට සීමා පැනවේ. ඒ වෙනුවෙන් බලපත්‍රයක් ගත යුතුය. යම් රටක් එම වෙළෙඳාම සඳහා අභිමතය දක්වන්නේ නම් ඒ අවශ්‍ය ලියකියවිලි තිබිය යුතුය. එනිසා ලෝකයේ තවමත් අලි මඩුවන් හෝ උන්ගේ කරමල් පෝරු වෙළෙඳාමට තහනමක් නැත. එහෙත් ඉදිරියේදී සයිටීස් සම්මුතියේ මේ සතුන් ඇතුළත්ව ඇති කාණ්ඩය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් කෝප් – 20 සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට විද්වත්හු අපේක්ෂා කරති. එම යෝජනාවට අනුව මේ සතුන් එම සම්මුතියෙහි පළමු කොටස යටතේ ලැයිස්තුගත කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ලෝකයේ දුර්ලභ රෝස පැහැ මඩුවා නැවත හමුවේ |Wijeya.lk

ලංකාවේ  අලි මඩුවන් බහුල ලෙස හමුවෙන්නේ කරමල් දැල් මත්ස්‍ය දඩයමේදීය. පසුගිය සමයේදී ඇතැම් ධීවරයන් කිලෝ දහසකටත් එහා බරකින් යුතු අලි මඩුවන් දඩයම් කරන අයුරු දැක්වෙන හා අහම්බෙන් දැල්වලට පැටලුණු සතුන් පිළිබඳව සමාජ මාධ්‍යයේ වීඩියෝ පවා පළ වී තිබිණි. බොහෝ මේ මසුන් දඩයම් කෙරෙන්නේ කරමලේ ඇති වාණිජ්‍ය වටිනාකම හේතුවෙන්ය. මෙරට තුළ මඩු මසුන් සම්බන්ධයෙන් නීති රාමුවක් හෝ නියාමනය කිරීම සඳහා අණ පනත් නොමැති නිසා ඔවුන් දඩයම් කිරීමට තහනමක් නැත. ජාත්‍යන්තර වෙළෙඳපොළට මඩුවන්ගේ කරමල් සපයන රටවල් අතර ලංකාවද ප්‍රධාන පෙළේ සිටින බව බුද්ධි මහේෂිකා පතිරණ පැවැසුවාය. දැනට වාර්තා වී ඇති අයුරින් ලංකාවේ සැලකිය යුතු තරම් මඩු කරමල් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සැපයෙන බව පැවැසේ.

වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ ජීවීන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (සයිටීස්) ක්‍රියාත්මක වන රටවල් 185 අතරින් මහ මඩුවන්ගේ කරමල් පෝරු අපනයනය කරන්නේ ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සහ ආසියානු කලාපයේ රටවල් දාහතරක් පමණක් බව ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය. ලෝකයේ රටවල් අතරින් ප්‍රධාන රටවල් පහක් ඒවා ආනයනය කරයි. එම රටවලින් 2017 වසරේ සිට 2021 වසර දක්වා ගත වූ කාලය තුළ අපනයනය කළ අලි මඩු කරමල් පෝරු සම්බන්ධයෙන්  විමසා බලන විට එම වෙළෙඳාමෙන් සියයට 68% සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව දත්තවලින් හෙළි වේ. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 12,761.65ක් වන අතර දළ වශයෙන් මේ ප්‍රමාණය ලබා ගෙන ඇත්තේ මසුන් 70,898 දෙනකුගෙන් පමණ බව දත්තවලින් හෙළිවන්නේ යැයි ආචාර්ය ජගත් ගුණවර්ධන හෙළි කළේය.

ලංකාවේ නීතිය අනුව සාගරයේ වෙසෙන මඩු කුලයට අයත් කිසිදු සත්ත්ව විශේෂයක් ආරක්‍ෂිත නොවේ. එනිසා උන්ට දේශීය නීති පද්ධතිය තුළ රැකවරණයක් හිමිව නැත. අඩු තරමේ ධීවර පනත යටතේ හෝ ආරක්‍ෂිත නොවේ. පවතින නීති‌ය යටතේ නීතිමය රැකවරණය හිමිව තිබෙන්නේ මෝර විශේෂ පහකට පමණි. ලංකාවේ නීති පද්ධතිය තුළ මේ මසුන් ආරක්ෂිත නොවන නිසාම මෙය නීතිවිරෝධී වෙළෙඳාමක් යැයි එක එල්ලේ පැවැසිය නොහැකි බව බුද්ධි මහේෂිකා පතිරණ පෙන්වා දුන්නාය. ඇතැම් රටවල් මඩුවන් ආරක්‍ෂිත සතුන් ලෙස නම් කොට ඇත්නම් එවන් රටවලට මේවා යැවීම නීතිවිරෝධී විය හැකිය. යම් හෙයකින් මේ මසුන් සයිටීස් සම්මුතියේ පළමු වැනි කාණ්ඩයට අයත් වුවහොත් ශ්‍රී ලංකාවටද මේවා වෙළෙඳාමේ නිරත විය නොහැකි වනු ඇත.

සාගර අලි මඩුවන්ගේ ගහනය සෙමෙන් වර්ධනය වන්නකි. උන් බිහි කරනුයේ අඩු පැටවුන් ප්‍රමාණයකි. උන් වරෙකට බිහි කරන්නේ එක් පැටවෙකු පමණි. උන් මෝරන්නේද ඉතා සෙමිනි. සාගර අලි මඩුවන්ට ඇත්තේ මන්දගාමී වර්ධන වේගයකි. මේ හේතු නිසා අනෙකුත් මත්ස්‍ය විශේෂ හා සංසන්දනය කරන විට උන්ගේ ගහනය ඉතා සීමිතය. අනෙක් අතට මේ මසුන් ධීවර දැල්වලට හසු වන්නේ ඉලක්කගත නොවූ මත්ස්‍ය අස්වැන්නක් ලෙසය. ඇතැම් ධීවර පිරිස් මේ සතුන් යළි සාගරයටම මුදාහැරියද බොහෝ විට එය එසේ නොවේ. එනිසාම එය මේ සතුන්ගේ ගහනයේ පැවැත්මට තර්ජනයක් මතු වෙමින් තිබේ. ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවලින් මෙන්ම ගැඹුරු මුහුදේ යාත්‍රා කරන එක්දින ධීවර යාත්‍රාවලින් පවා අලි මඩුවන් දඩයම් කෙරේ. ඇතැම් විට මේ දැල්වලට හසුවන මඩුවන් එම යාත්‍රාවල පටවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නොහැකි තරම් විශාලය. එනිසා ඇතැම් පිරිස් කරමල් පෝරුව වෙන් කොට ගෙන කොටස් වශයෙන් මේ මසුන් රැගෙන එන  බව පැවැසේ. තවත් සමහරුන් බෝට්ටුවෙන් පිටත ගැට ගසා මේ මසුන් ඇදගෙන ගොඩබිමට රැගෙන එන බවක්ද දැකිය හැකිය. 

ලෝක සංරක්ෂණ සංගමය මඟින් 2021 වසරේදී ප්‍රකාශයට පත් කළ ලෝක රතු දත්ත ලේඛනයට අනුව මේ සතුන් ඇතුළත්ව ඇත්තේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සතුන් ලෙසය. එහි දැක්වෙන අයුරින් උන්ගේ ශරීර කොටස් විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කෙරෙයි. දඩයම් කිරීම හා මත්ස්‍යාගාර සඳහා ස්වාභාවික පරිසරයෙන් ඉවත් කිරීම ආදිය හේතුවෙන් මේ මසුන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇත.

මාලදිවයිනේ දූපත් ආශ්‍රිතව මේ මොවුන් සුලබව හමුවේ. එහෙත් ලංකාවේදී නිශ්චිතවම මේ මසුන් සිටින ස්ථාන පිළිබඳව පැවැසිය නොහැකිය. මාලදිවයින අලි මඩුවන් ඇල්ලීම තහනම් කළේ 1995දී පමණය. එවකට මේ සතුන්ට මෙතරම් නීතිමය රැකවරණයක් හිමිව තිබුණේ නැත. ගත වූ 2009 වසරේදී අලි මඩුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂිත ප්‍රදේශ දෙකක් පවා මාලදිවයින ප්‍රකාශයට පත් කෙරිණි. එනිසාම මේ වන විට මාලදිවයින ආශ්‍රිත මුහුදේ සැලකිය යුතු තරම් අලි මඩුවන් ගහනයක් ජීවත් වන බව සඳහන්ය. එය ඔවුන් සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා මැනවින් කළමනාකරණය කර ගැනීමට සමත්ව ඇත. අද වන විට අලි මඩුවන් සමඟ කිමිඳුම් අත්දැකීමක් ලබා ගැනීමට නම් එරටට පැමිණෙන සංචාරකයන් ඇමරිකානු ඩොලර් 300 –  500  අතර මුදලක් ගෙවිය යුතුය. මේ සතුන් ජලයේ පාවෙන කුඩා ප්ලවාංග මතම යැපෙන නිසා උන්ගෙන් අනෙක් සතුන්ට කිසිදු හානියක් නොමැත.

Nusa Penidan pinnan alla - Parasta matkalla

මිනිසුන්ට පවා හානියක් නොවන නිසාම පළපුරුදු මඟපෙන්වන්නෙකු සමඟ අලි මඩුවන් හා කිමිඳුම් අත්දැකීමක් ලබාගත හැකිය. උන් ජලයේ පිහිනා යන්නේ ඉතා සෙමිනි.  එනිසාම සංචාරකයන්ට අලි මඩුවන් සමඟ පිහිනීම සුන්දර අත්දැකීමක්ව ඇති බව පැවසේ. ලංකාවට අවශ්‍ය වන්නේද මෙවැනි සහයෝගිතාවකින් පිරුණු සංචාරක ව්‍යාපාරයක් බව ආචාර්ය ජගත් ගුණවර්ධන පැවැසීය. එහිදී ධීවරයන්ට වුවද කිමිඳුම්කරුවන් සේ මේ අත්දැකීම සංචාරකයන්ට ලබාදීම සඳහා එක්විය හැකි බවද ඔහු කීය. එහෙත් අලි මඩුවන් නිශ්චිතවම සිටින ශ්‍රී ලංකාව අවට මුහුදු කලාප තවමත් හඳුනාගෙන නොමැති නිසා මෙය තරමක අභියෝගාත්මක හා දුෂ්කර කාර්යයක් විය හැකි බව බුද්ධි මහේෂිකා පතිරණ පැවැසුවාය. අලි මඩුවන් මෙරට අවට ගැවසෙන මුහුදු කලාප පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක අවශ්‍යතාව මේ මඟින් මතුවන බවද ඇය පෙන්වා දුන්නාය. 

ලංකාව හෝ ඉන්දියන් සාගර කලාපයේ පිහිටි වෙනත් රටක් අලි මඩුවන් ඝාතනය කිරීම කලාපීය වශයෙන් ගැටලු ඇති කරන්නකි. යම් රටකට අයත් මුහුදු කලාපයක දක්නට ලැබෙන මඩුවෝ ඒ රටේ මුහුදු කොටසෙහි පමණක්ම ජීවත් නොවෙති. එනිසාම රට තුළ නීති පද්ධතිය ඇසුරින් මේ සතුන් ආරක්ෂා කරනවා සේම මේ කලාපයේ රටවල් ලෙස මුහුදු කලාපය තුළ මේ සතුන් ආරක්ෂා කිරීම අතිශය වැදගත් අන්‍යොන්‍ය වගකීමකි.

මෙතෙක් කිසිදු මඩු විශේෂයක් ශ්‍රී  ලංකාවේ ආරක්ෂිත විශේෂ බවට ප්‍රකාශ කර නොමැත. එහෙත් මහ මඩුවන්ද ඇතුළත් සමස්ත මොබියුලා කුලයටම නීතිමය ආරක්ෂාව සැලසිය යුතු බව දශකයකට පෙර සිටම බලධාරීන්ට යෝජනා කළද මේ වන තුරුත් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවට ආචාර්ය ජගත් ගුණවර්ධන චෝදනා කළේය. ඔහු පෙන්වා දෙන්නේ මේ නාස්තිකාර වෙළෙඳාම තුළ කරමල් පෝරු ලබා ගැනීමට පමණක් මසුන් විශාල ප්‍රමාණයක් මරා ඒවා රැගෙන අවශේෂ කොටස් යළි සාගරයටම බැහැර කරන බවය. මේ හේතුවෙන් රටක් ලෙස ලෝකය ඉදිරියේ අපකීර්තිමත් නාමයක් පමණක් හිමිව ඇති බවද ඔහු සඳහන් කළේය.

අලි මඩුවන් ඇතුළු මොබියුලා කුලයේ සියලු මසුන්ට නීතිමය ආරක්ෂාව සැලසීමට නම් වනජීවී පනතේ හා ධීවර පනතේ ප්‍රතිපාදන උපයෝගී කොට ගැනීම පමණක් ප්‍රමාණවත් බවද ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31 (අ) වගන්තිය යටතේ ඇති හය වැනි උප ලේඛනයට මොබියුලා කුලයද ඇතුළත් කළ හැකිය. ඒ සඳහා පනත සංශෝධනය කිරීම අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා විසින් පනවනු ලබන නියෝගයක් ගැසට් පත්‍රයේ පළ කිරීමකින් එය කළ හැකි බවද ඔහු අවධාරණය කළේය. ඒ මඟින් අදාල පනතේ 40 වැනි වගන්තිය බලාත්මක වන නිසා කරමල් පෝරු ඇතුළු කිසිදු ශරීර කොටසක් මෙරටින් අපනයනය කිරීමට ඇති නිදහස අහිමි වී යයි.

එමෙන්ම ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වැනි වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මඟින් මොබියුලා කුලයේ සියලු මසුන්ට ආරක්ෂාව සැලසිය හැකි බවද ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය. එමෙන්ම එම පනතේ 30 වැනි වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මඟින් මොබියුලා කුලයේ කිසිදු මත්ස්‍යයකුගේ කරමල් පෝරු හෝ සෙසු ශරීර කොටස් අපනයනයත් තහනම් කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය. අවශ්‍ය නම් මේ නියෝග දෙකම එකට එක් කර එකම නියෝග මාලාවක් ලෙස වුවද එකම ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.