Back to Blog

වනාන්තරයේ  කසළ ශෝධකයා ගැන ඔබ දන්නවාද?

Editor
වනාන්තරයේ  කසළ ශෝධකයා ගැන ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාවේ වනජීවීන් අතරින් නරියා (Canis aureus naria) විශේෂ ස්ථානයක් ගනී. මෙම සත්වයා  ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට අතිශයින් වැදගත් වන අතර, මොවුන්ගේ  පැවැත්ම ශ්‍රී ලංකා වේ සමස්ත ජෙෙව පද්ධතිය තුළ  ස්වාභාවික සමතුලිතතාවය පවත්වා ගැනීමට බෙහෙවින් දායක වේ.

Sri Lankan Jackal (Canis aureus naria) – Travel of a Revolutionist

නරියා යනු කැනිඩේ (Canidae) පවුලට අයත් ක්ෂීරපායී සතෙකි. උගේ  විද්‍යාත්මක නාමය Canis aureus naria වන අතර ගෘහස්ථ සුනඛයන් මොවුන්ගේ ලඟම ඥාතීන්ය. මෙරට හමුවන නරියන්  යුරෝපයේ සිට අප්‍රිකාව හා  ආසියාව පුරා  පැතිරී සිටින පොදු නරියාගේ  (Canis aureus) උපවිශේෂයකි. ශ්‍රී ලංකාවට ආවේණික සතෙකු ලෙස සැලකෙන මොවුන්, ප්‍රධාන වශයෙන් වියළි කලාපයේත්, අතරමැදි කලාපයේත් ව්‍යාප්තව සිටී. කෙසේ වෙතත්, තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවලද මොවුන් වාර්තා වී ඇත.

රන්වන් පැහැති හෝ  තද කහ හෝ -දුඹුරු පැහැති ලොම් සහිත සමක් ඇති  මෙම සතුන් , උල් වූ කන් සහ ඝන ලෝම සහිත වලිගයකින් යුක්ත වේ. මොවුන්ගේ ශරීර ප්‍රමාණය ගෘහාශ්රිත  බල්ලෙකුට සමාන වන අතර, සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී ක්‍රියාශීලී සතුන් වේ. ඔවුන් කුඩා කණ්ඩායම් ලෙස හෝ  යුගල වශයෙන් ජීවත් වන අතර ඉතා  පුළුල්  ආහාර   විවිධත්වයකට හිමිකම් කියයි.

මාධ්‍යයට වැරදුණු කතාවක්. රාත්‍රියට ඇසෙන හූ හඬ නරියාගේ ද ? - Rata.lk

නරියන් සාමාන්‍යයෙන් යුගල වශයෙන් හෝ  කුඩා  රංචු ලෙස ජීවත් වීමට කැමැත්තක් දක්වයි. එක් රංචුවක සිටින සාමාජිකයින් ගණන දෙදෙනෙකුගේ සිට දහයත් දොලහත්  අතර ප්‍රමාණයක් විය හැකිය. මෙම රංචුවල ට තමන්ටම ආවේණික වූ බල ප්‍රදේශයක් (territory) ඇත. මෙම බල ප්‍රදේශයේ ප්‍රමාණය නරියන් ජීවත්වන පරිසරයේ ආහාර ලබා ගැනීමේ හැකියාව සහ අනෙකුත් සම්පත් මත රඳා පවතී. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 1 සිට 10 දක්වා වූ ප්‍රදේශයක් එක් නරි රංචුවකට අයත් විය හැකිය. මෙම ප්‍රදේශය තුළ ඔවුන් ආහාර සොයා ගැනීම, ප්‍රජනනය කිරීම සහ අනෙකුත් නරි රංචු සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකී සිටීම සිදු කරයි. ඔවුන් තම බල ප්‍රදේශ සලකුණු කරන්නේ මුත්‍රා, මළපහ සමග  නිකුත් කරන ෆෙරමෝන  මගිනි.

නරියා කුඩා ක්ෂීරපායින් (හාවන්, මීයන්, ආදී), කුරුල්ලන්, උරගයින්,සහ උන්ගේ බිත්තර,කෘමීන් වැනි සතුන් ආහාරයට ගනී. මේ නිසා, මොවුන් මෙම සතුන්ගේ ගහනය පාලනය කිරීමට උපකාරී වේ. යම් සත්ව විශේෂයක ගහනය අධික ලෙස වැඩි වීම පරිසර පද්ධතියට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවින්, නරියාගේ ක්‍රියාකාරීත්වය මෙහිදී ඉතා වැදගත් වේ.

මාධ්‍යයට වැරදුණු කතාවක්. රාත්‍රියට ඇසෙන හූ හඬ නරියාගේ ද ? - Rata.lk

එමෙන්ම ඔවුන් කසළ ශෝධක (Scavenger)සත්ව විශේෂයකි. වන සතුන්ගේ මළ සිරුරු පරිසරයෙන්  ඉවත් කිරීම මගින් පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, රෝග පැතිරීම වැළැක්වීමටත් මොවුන් දායක වේ. මෙය ස්වාභාවික වියෝජන  ක්‍රියාවලියට (Natural decomposition process) සෘජුවම බලපායි.

ඔවුන් පලතුරු ආහාරයට ගන්නා අවස්ථාද වාර්ථාවී ඇති අතර. මෙලෙස ආහාරයට ගන්නා පලතුරුවල බීජ ඔවුන්ගේ මළපහ සමඟ විවිධ ස්ථානවල තැන්පත් වේ. මෙය බීජ ව්‍යාප්තියට සහ නව ශාක වර්ධනයට උපකාරී වන අතර, වනාන්තර පුනර්ජනනයට (forest regeneration) ස්වාභාවිකවම වැදගත් දායකත්වයක් මෙ මගින් සපයයි.

තවද ඔවුන් ආහාර දාමයේ වැදගත් පුරුකකි. ඔවුන් කුඩා සතුන් ආහාරයට ගන්නා අතර, විශාල මාංශ භක්ෂකයන් (උදා: දිවියා) ගේ  ගොදුරක් ලෙසද ක්‍රියා කරයි. මෙලෙස, ආහාර දාමයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට මොවුන් දායක වේ.

අලි වදේට මොනර කරදරේට ඔක්කොටම වගකියන්න ඕනේ නරි! Sri Lanka Latest News - Sri  Lanka News Update

නරියා  වැනි විලෝපික සතුන්ගේ පැවැත්ම, පරිසර පද්ධතියක සෞඛ්‍ය නියාමන දර්ශකයක් ලෙස සැලකිය හැකි අතර ඔවුන්ගේ ගහනයේ වෙනස්වීම් මගින් පරිසරයේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමට අපට හැකි වේ.

නගරීකරණය, කෘෂිකාර්මික ව්‍යාප්තිය සහ මානව ක්‍රියාකාරකම් නිසා නරියාගේ ස්වාභාවික වාසස්ථාන සීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතී. මාර්ග අනතුරු, දඩයම් කිරීම, සහ ජල භීතිකාව වැනි රෝග තර්ජන ද මොවුන්ට බලපායි. ඇතැම් ප්‍රදේශවල ගොවිපළවල්වලට හානි කරන සතුන් ලෙස සලකා මොවුන්ට මරාදැමීමද සිදුවේ.නරියා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දක්වන දායකත්වය සලකා බලන විට, මොවුන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මොනවට පැහැදිලි වේ. 

ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම, මානව වනජීවී ගැටුම් අවම කිරීම, සහ ජනතාව දැනුවත් කිරීම මගින් මෙම සත්වයාගේ අඛංඩ පැවැත්ම තහවුරු කළ හැකිය. නරියාගේ පැවැත්ම ශ්‍රී ලංකාවේ ජෙෙව පද්ධතියේ සමතුලිතතාවය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, එය අපගේ ස්වාභාවික උරුමය රැක ගැනීමට ද දායක වේ.

LLLF Media Team

Suranjeewa Kodithuwakku