Back to Blog

බෝල පිඹුරන් යට ඇදුමේ ගෙනාවේ රන්වලටත් වඩා වටින නිසාද?

Editor
බෝල පිඹුරන් යට ඇදුමේ ගෙනාවේ රන්වලටත් වඩා වටින නිසාද?

උපුටා ගැනීම සහ මුල් අයිතිය -

මව්බිම පුවත් පතේ

සවනි ෂේශාදි මෙනෙවිය

මුල් කාලීනව නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එන බව පැවැසුණේ කුරුල්ලන්ය. එසේත් නොමැති නම් සුරතල් මසුන්ය. එහෙත් අද වන සුරතල් සතුන් ලෙස ඇති කිරීම සඳහා නිර්විෂ සර්පයන් ඇතුළු ආගන්තුක වනජීවීන් විශේෂ නීත්‍යනුකූල නොවන අයුරින් ලංකාවට ගෙන ඒම රැල්ලක් බවට පත්ව ඇත. මින් පෙර රන්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය පිළිබඳව අසා තිබුණද පසුගිය වසර තුන – හතර තිස්සේ වනජීවී ජාවාරමද ක්‍රමයෙන් හිස ඔසවා ඇතැයි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති. වෙනදා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට හමුවනුයේ යට ඇඳුමේ සඟවාගෙන එන රත්රන්ය. එසේත් නොමැති නම් මත්කුඩුය. එහෙත් අද වන විට සර්පයෝද සිය යට ඇඳුමේ  සඟවාගෙන එන්නට තරම් සමත් වනජීවී අපරාධකරුවෝද සිටිති. යට ඇඳුමේ සඟවාගෙන හෝ රටකින් තවත් රටකට ගෙන එන්නට උත්සාහ දරනුයේ ඒ උන් එතරම්ම වටිනා නිසාය. ආගන්තුක වනජීවීන්ද රත්තරන් සහ මත්ද්‍රව්‍යවලටත් වඩා මිලෙන් ඉහළ ගොස් ඇති බව  මේ සිදුවීම් තුළින් මනාව පැහැදිලි වේ. උන් එතරම් මිල අධික නොවන්නේ නම් යට ඇඳුම්වල සඟවාගෙන එන්නට ඇතැමුන් පෙලඹෙනුයේ කවර හේතුවක් නිසාදැයි සිතා ගැන්මට නොහැකිය.

ලංකාවට ආගන්තුක වනජීවීන් වෙළෙඳාම අද වන විට මෙරට විශාල මූල්‍යමය වටිනාකමක් හිමි ජාවාරමක් බවට පත්ව ඇත. පසුගියදා තායිලන්තයේ ස්වර්ණ භූමි ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට පත් වූයේ සිය යට ඇඳුමේ සඟවා ගත් බෝල පිඹුරන් එසේත් නොමැති නම් බෝල් පයිතන් සත්ත්වයන් තිදෙනකුද සමඟය. උන් සිටියේ පිරිමියකුගේ අතිශය සංවේදී ස්ථානයක සඟවාගෙනය. මේ නව පිඹුරු විශේෂයක් හෝ උප විශේෂයක් නොවේ.  උන් වර්ණ වෙනස් කළ සතුන් බව ආචාර්ය ජගත් ගුණවර්ධන ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

නිර්විෂ මේ පිඹුරු විශේෂයේ වර්ණකාර ගණනාවක් නීති විරෝධී අයුරින් බිහිකර ඇති බව ඔහු කීය. ඒ වෙළෙඳාම සඳහාය. මේ ඇතැම් වර්ණ අතිශය දුර්ලභය. මිලෙන්ද අධිකය. උන් කුඩා ඉඩක වුවද ඇති කළ හැකිය. උන් නඩත්තු කිරීමද පහසුය. එනිසාම ලෝකයේ සුරතල් වනජීවී සතුන් අතර මුල් තැනක් ගනුයේද ඒ නිසාම වන්නට ඇත.  මේ ජාන වෙනස් කළ සත්ත්ව විශේෂයක් නොවේ. උන් වරණීය ප්‍රජනනයෙන් ඇති කර ගත් වර්ණාකාරය. 

මේ සතුන්ගේ වර්ණයේ විවිධත්වය මතද උන්ට නියම වන මිලද වෙනස්ය. තායිලන්ත වෙළෙඳපොළේ මේ අයුරින් වර්ණ වෙනස් කළ බෝල පිඹුරන් විවිධ නම්වලින් හැඳින්වේ. ඒ උන්ට මූල්‍යමය වටිනාකමක් ආරූඪ කරවීම පිණිසය. ඇතැම් විට මේ සතුන් බාත් ලක්ෂයකට හෝ ඊටත් වැඩි ගණනකට අලෙවි කෙරේ. ලංකාවේ මුදලින් නම් මිලියන ගණනකටත් එහා විය හැකිය. 

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ලංකාවට කිසිදු උරගයෙක් ගෙන්වීමට වනජීවී දෙපාර්තමේන්තුව අවසර ලබාදී නොමැති බව ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය. සර්පයන්, කටුස්සන්, ඉබ්බන් ආදී උරග වෙළෙඳාම මේ රට තුළ නීති විරෝධීය. බෝල පිඹුරන් සයිටීස් සම්මුතිය යටතේ දෙවැනි උප ලේඛනයට අයත් සතුන්ය. එනිසාම බෝල පිඹුරන් රටකින් තවත් රටකට ආනයනය කරන්නේ නම් දෙරටේම ආනයන – අපනයන බලපත් ලබාගත යුතුය. ලංකා ඉතිහාසයේ කිසිදු දිනයක බෝල පිඹුරන් ආනයනය කරන්නට බලපත් ලබාදී නැත. සයිටීස් සම්මුතිය යටතේ සිදු කෙරෙන ආනයන – අපනයන පිළිබඳව වසරක් පාසා නිකුත් කෙරෙන දත්ත ගොනුවෙහි ලංකාවට බෝල පිඹුරන් ආනයනය කරන්නට අවසර නිකුත් වී නොමැති බව පැහැදිලිව සඳහන් වෙයි. යම් සැකයක් ඇතොත් සයිටීස් වෙළෙඳාම් දත්ත පද්ධතිය පිරික්සා මේ බව දැනගත හැකිය.

සයිටීස් සම්මුතිය හා ගිවිසුම්ගතව ඇති සෑම රටක්ම වනජීවීන් ආනයනය කරන්නට හෝ අපනයනය කරන්නට නිකුත් කරන බලපත් පිළිබඳව සියලු දත්ත සයිටීස් ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය. අඩු තරමේ කිසිදු ජීවී උරගයකු ආනයනය කරන්නට හෝ අපනයනය කරන්නට ලංකාව බලපත් ලබාදී නොමැත. එහෙත් උරග සම්, සර්ප  විෂ හා සත්ත්ව හුවමාරු ක්‍රම යටතේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උරගයන් නීත්‍යනුකූලව ආනයනය කරන්නට බලපත් නිකුත් කොට ඇත. 

මේ සම්මුතිය යටතේ කිසිම සතෙක් ආනයනය හෝ අපනයනය කිරීමට තහනමක් පැනවීම සිදු නොකෙරේ. එහෙත් ආනයන – අපනයන සීමා පැනවේ. එය වඳ වී යන සතුන් සහ ශාක වෙළෙඳාම පාලනය කිරීම සඳහා ඇති කර ගත් අන්තර්ජාතික සම්මුතියකි. එය ඇති කරගනුයේ 1973දී. ලංකාව එහි මුල්කාලීන සාමාජික රටවල් අතරින් එකකි. තෝරාගත් සතුන් සහ ශාක උපලේඛන තුනක් යටතේ වෙන් කොට ඇත. පළමු උප ලේඛනයට ඇතුළත් වන්නේ වඳ වීමේ තර්ජනය ලක් වීම නිසා වෙළෙඳාම දැඩි සේ සීමා කළ සතුන්ය. දෙවැන්නට අයත් වනුයේ යම් කිසි පාලනයක් යටතේ වෙළෙඳාම සඳහා අවසර හිමි වන සතුන්ය. යම්කිසි රටක් එරට වෙසෙන යම් කිසි සත්ත්ව විශේෂයක් ආරක්ෂා කරගැනීමට සිතන්නේ නම් ඒ අනුව එම සතුන් තුන්වැනි උප ලේඛනයට ඇතුළත් කළ හැකිය.

මේ සම්මුතිය වෙළෙඳාම පාලනය කරන සහ එය නියාමනය කරන එකක් මිස වනජීවී සංරක්ෂණ ප්‍රඥප්තියක් නොවන බව ආචාර්ය ජගත් ගුණවර්ධන අවධාරණය කළේය. ඉන් පාලනය කළ හැක්කේ නීත්‍යනුකුල වෙළෙඳාම පමණි. අනෙක් කාරණය වන්නේ එය රටවල් අතර ඇති වෙළෙඳාම පාලනය කරන්නක් මිසක් රට තුළ ඇති නීති විරෝධී වෙළෙඳාම පාලනය කරන්නක් නොවීමය. බෝල් පයිතන් සතුන්ගේ වර්ණාකර සිය ගණනක් තායිලන්තයේ විවෘත වෙළෙඳපොළ තුළ අලෙවි කෙරේ. සයිටීස් සම්මුතියේ වගන්ති කිසිවක් ඒ සඳහා අදාළ නොවේ. ලංකාවේ ඇතැම් කටුසු වර්ග ඇතුළත් වනුයේ එහි දෙවැනි උප ලේඛනයටය. උන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්‍ෂිත සතුන්ය. රට තුළ උන් වෙළෙඳාම් කළ නොහැකි අයකුට සයිටීස් සම්මුතිය යටතේ අන්තර්ජාතිකව උන් වෙළෙඳාම් කළ හැකිය. එවැන්නකට ඉඩ සැලසීම වැරැදි සහගත එකක් බව ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය.  මේ සම්මුතිය හා දේශීය නීතිය අතර පරස්පරතා පැවැතීම තවත් ගැටලු මතු කරන්නකි. දේශීය ආවේණික සතෙකුට වුවද මේ සම්මුතිය යටතේ නිසි රැකවරණයක් නොලැබේ.  ප්‍රයෝජනවත් භාවය සහ ලංකාවේ ඇති සංරක්ෂණ වටිනාකම් පිළිබඳව පරිසරවේදීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් තුළ අකැමැත්තක් පවතින බව ඔහු සඳහන් කළේය.

මුල්වරට ලංකාවේ බෝල් පයිතන් සිටින බව දැනගන්නේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකළ වැටලීමකදීය. පෞද්ගලිකව සතුන් ඇති කළ ස්ථානයක කළ වැටලීමකදී බෝල පිඹුරන් මෙන්ම මෙරටට ආනයනය කරන්නට අවසර ලබාදී නොමැති විවිධ කුරුළු වර්ග ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් එහිදී සොයාගෙන ඇත. මැකෝ වැනි කුරුලු වර්ග වෙළෙඳාම් කරන බව පැවැසුවද, උරගයන් සුරතල් සතුන් ලෙස ඇති කරන්නට අලෙවි කෙරෙන බවට මින් පෙර තොරතුරු වාර්තා වී නොතිබිණි. එහෙත් මේ වැටලීමේදී බෝල් පයිතන් සතුන් මෙන්ම මෙරට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවා ලබා ගැනීමට නොහැකිව බොහෝ කලක් බලා සිටින දකුණු ඇමරිකාවේ වෙසෙන කුඩා වඳුරු විශේෂයක් වන මාමසෙඩ් සතුන්ද හමුවී ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉගිළෙන ලේනුන් විශේෂයක් මෙන්ම තවමත් විශේෂය අනාවරණය කරගත නොහැකි වූ දිවි මකුළු විශේෂයක්ද එහි සිට තිබේ.

උරගයන්ද සුරතල් සතුන් සේ අලෙවි කෙරෙන බව අනාවරණය වූයේ මේ සිදුවීමෙන් පසුවය. එම සතුන් නීත්‍යනුකූල අයුරින් මේ රටට ගෙන ආ සතුන් නොවන බවට අනාවරණය වී ඇත. කුරුලු තොගය නම් කාගෙන් හෝ මිලදී ගත් බව කිව හැකි වුවත් ලංකාවට ආවේණික නොවන බෝල් පයිතන් ඇතුළු සතුන් මෙරටට ගෙන ඒමට කිසිදු ලෙසකින් බලපත්‍රයක් නිකුත් වී නොමැති බව විශේෂඥයෝ  පෙන්වා දෙති.

එවන් බලපත්‍රයක් නිකුත් වූවා නම් ඒ බව සයිටීස් ලේකම් කාර්යාලය නිකුත් කරන සහ වාර්ෂිකව යාවත්කාලීන කරන දත්ත පද්ධතියට ඇතුළත් විය යුතුය. එහෙත් එවැනි අවසරයක් ගැන තොරතුරු එම දත්ත පද්ධතියෙහි ඇතුළත් නොවේ.

එහි අනෙක් සිදුවීම වාර්තා වූයේ නාවික හමුදා අත්අඩංගුවට පත් බෝට්ටුවක සිටි සතුන් තොගයක් අතරිනි. දකුණු මුහුදු තීරයේදී ඉකුත් වසරේ ජූලි 08 වැනිදා අත්අඩංගුවට පත් එම බෝට්ටුවෙහි බහලුමක තිබී හොඳින් වැඩුණු බෝල් පයිතන් සතුන් කිහිප දෙනකු හමුවිය. ඒ අතර දකුණු ඇමරිකාවට ආවේණික තලගොයි විශේෂයක් වන රෙඩ් ටේගූ නම් සත්ත්වයකු ඇතුළු සතුන් ගණනාවක් විය. වෙනදා නාවික හමුදාව මුහුදු කලාපයේ සිදු කරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය වුවද අද වන විට ඒවා වෙනුවට මුහුදු මඟින් අනවසරයෙන් ප්‍රවාහනය කරන ආගන්තුක සජීවී වනජීවීන් අත්අඩංගුවට පත්වන මට්ටමට පත්ව ඇත.

පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා වත්තල පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බෝල පිඹුරන් සිවු දෙනෙක් සොයාගෙන තිබිණි. ඒ සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක උඩුමහලේ සඟවාගෙන තිබියදීය. එම සතුන් අතර ගැට කිඹුලෙක්ද වූ බව හෙළිවිණි.

ඉන්පසු මේ වසරේ මැයි මාසයේදී තායිලන්තයේදී ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට පත්ව තිබුණේ බෝල පිඹුරන් කිහිපදෙනෙක් දෙනෙක්ද සමඟය. උන් සඟවාගෙන පැමිණ ඇත්තේ කුඩා ස්පීකරයක් තුළය. සජීවී ජීවීන් රැගෙන යෑමට තැත් දැරූ ශ්‍රී ලාංකිකයන් තිදෙනක් ජූලි මාසයේ ගත වූ දින කිහිපයේදී පමණක් විදෙස් ගුවන්තොටුපළවලදී අත්අඩංගුවට පත්ව තිබිණි. ජූලි මාසයේ මුලදී බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දැරූ අයෙක් අත්අඩංගුවට පත්ව තිබුණේ අතිශය දුර්ලභ බ්ලැක් පාම් කොකටු කුරුල්ලන් කිහිපදෙනකු ඇතුළු තවත් සත්ත්ව විශේෂ තුනක් සමඟය.

පසුගිය ජූලි දෙවැනිදා යට ඇඳුමේ බෝල පිඹුරන් සඟවාගෙන ආ ශ්‍රි ලාංකිකයකු අත්අඩංගුවට පත්වනුයේ එහි ආසන්නතම සිදුවීම ලෙසය. මේ පුද්ගලයා මින් පෙර එරටදී අත්අඩංගුවට පත්වූ අනෙක් සැකකරුවන් දෙදෙනා හා එම සිදුවීම්වලට සම්බන්ධ අයකු බව තායි මාධ්‍ය වාර්තා කර තිබිණි. එරට වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පොලාවී බුචකියට් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ තම නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත මේ පුද්ගලයා රඳවාගෙන කළ සෝදිසි කිරීම්වලදී යට ඇඳුමේ සඟවා ගෙන පැමිණි පිඹුරන් තිදෙනා හමු වූ බවය.

මේ පුද්ගලයා ‘ශේහාන්’ (Sheehan) ලෙස පමණක් හඳුනාගෙන ඇති බවත්, ඔහු මින් පෙර 2024 වසරේදී මේ අයුරින්ම බෝල පිඹුරන්, ගෙම්බන්, සැලමන්ඩර්, කැස්බෑවුන්, ඉබ්බන්, ඉගුවානා ආදී වනජීවී සතුන් විශේෂ කිහිපයක් නීති විරෝධී අයුරින් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා කොළඹදී අත්අඩංගුවට ගත් අයෙක් බවත් එරට වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසා ඇත.

ඉකුත් බදාදා (02දා) මේ පුද්ගලයා සවස 6ට පමණ ඔහු නැවතී සිටි නවාතැනේ සිට කුලී රථයකින් ස්වර්ණභූමි ගුවන්තොටුපළට පැමිණ තිබේ. ඔහු ගුවන්තොටුපලේ ස්ථාපිත කොට ඇති තායි එයාර්වේස්හි කවුන්ටරයට පැමිණ ගමන් මලු පරීක්ෂාව සහ ස්කෑන් යන්ත්‍ර ඇසුරින් ශරීර පරික්ෂාව සිදු කළද සැක කටයුතු කිසිවක් හමුවී නැත. ඔහු පිළිබඳව ලැබී තිබූ බුද්ධි තොරතුරු හේතුවෙන් නිලධාරීන් මැදිහත් වී ඔහුගේ ශරීර පරීක්ෂාවක් සිදු කර ඇත. එහිදී සයිටීස්  සම්මුතියේ  II උපලේඛනය යටතේ වර්ගීකරණය කර දෙරටින්ම ආනයන-අපනයන බලපත්‍ර අවශ්‍ය වන බෝල පිඹුරන් තුන් දෙනෙක් මල්ලක බහා ඔහුගේ යට ඇඳුම්වල සඟවා ඇති බව සොයා ගෙන තිබේ.

වන සත්ත්ව ජාවාරම තායිලන්තයේ මහා ඉහළින් සිදු කෙරෙන්නකි. එය එරටට මහත් වූ හිසරදයක් නිසාම එය මැඬලීම වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. එහෙත් මෙය ලංකාවට අලුත් මාතෘකාවකි. එය අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන මත්ද්‍රව්‍ය හෝ රන් ජාවාරම තරම් සුලබව සිදු නොවන ආගන්තුක සූක්ෂ්ම ක්‍රමයකි.

අද වන විට එය ඉහළ පෙළැන්තියේ කෝටි ගණනින් මුදල් හුවමාරු කෙරෙන ජාවාරමක් බවට පත්ව ඇත. එය දරුවකුට සුරතලයට ඇති කිරීමට ගිරවකු මිලදී ගන්නා තරම් සරල කතාවක් නොවේ. එය තමන්ගේ තරාතිරම, පෙළැන්තිය, බලපුළුවන්කාරකම පෙන්වීමට යොදා ගන්නා දෙයක් බවට පත්ව ඇත. සජීවී සතුන් රහසේ ගෙන්වීමට මෙන්ම උන් ඇති දැඩි කිරීමට අත දිගහැර වියදම් කරන්නට තරම් මුදල් තිබිය යුතුය.සුරතලයට සර්පයන් ඇති කිරීම අගනගරයට පමණක් සීමා වූවක් නොවේ. මේ පෙළඳන්තිය පවත්වාගෙන යන්නට උත්සුක වන්නෝ කොළඹින් බොහෝ දුර ඈතද වෙසෙති.

ආගන්තුක උරගයෙන් මෙරටට ගෙන ඒම අතිශයින් අන්තරායකර ක්‍රියාවකි. යම් හෙයකින් උන් ස්වාභාවික පරිසරයට මුදාහැරීමෙන් සිදුවනුයේ සිතා ගැන්මට නොහැකි තරම් විනාශයකි. උරගයෙන් වෙතින් කුමන ලෙඩ රෝග පැතිරෙනවාද යන්න පවා තවමත් හඳුනාගෙන හෝ නොමැත. කුරුළු විශේෂවලින් බෝවෙන රෝග පිළිබඳව යම් තරමකින් හෝ දැනුමක් විද්‍යාඥයන් සතුව පවතී. ඔවුහු ඒ ගැන පර්යේෂණ කරති. යම් හෙයකින් ලංකාවට කුරුල්ලෙක් හෝ වෙනයම් සතෙක් ආනයනය කරන්නේ නම් ඒ සඳහා නිරෝධායන සහතික ඇතුළු බලපත් ගණනාවක් ලබා ගත යුතුය. කොන්දේසි ගණනාවක් සපුරාලිය යුතුය. එහෙත් උරගයන් සම්බන්ධයෙන් නම් තවමත් එවැන්නක් නොමැති බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. නීති විරෝධීව උරගයන් ආනයනය කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව පැවැසේ. එය මේ වන විටත් භයානක අඩියකට පත්ව ඇති බවට අනතුරු ඇඟ වේ.

මින් පෙර දකුණු ආසියානු රටවල් සැලකුණේ ඒ රටවල වනයෙහි ජීවත්වන වනජීවීන් හොර රහසේ වෙනත් රටවලට රැගෙන යන ඒවා ලෙසය. එහෙත් අද වන විට එම තත්ත්වය වෙනස්ව ඇත. අද වන විට දකුණු ආසියානු රටවල් වනජීවීන් මිලදී ගන්නා පාරිභෝගික රටවල් බවට වෙනස්ව ඇත. එය නිසි ලෙස නියාමනය නොවුණහොත් වඩාත් භයානක සහ අවදානම් අඩියකට පත්වනු නිසැකය. ඉන්දියාව මේ වන විටත් ආගන්තුක වනජීවී වෙළෙඳාම නියාමනය කිරීමට පටන් ගෙන ඇත. සයිටීස් සම්මුතියට යටත්ව එරට පනත් පවා ඉන්දීය රජය සංශෝධනය කිරීමට පසුගිය 2023 වසරේදී කටයුතු කොට ඇත. එහෙත් තවමත් එරට වනජීවී ජාවාරම ඉහළින්ම සිදු කෙරේ. සතියකට එවන් සිදුවීම් දෙක තුනක්වත් ඉන්දීය ගුවනතොටුපළ ආරක්ෂක අංශ නිලධාරීන්ට හසු වන බව වාර්තා වේ.

නීති විරෝධී අයුරින් උරගයන් ඇතුළු ඕනෑම වනජීවී සත්ත්ව විශේෂයක් ප්‍රවාහනය කිරීම සත්ත්ව හිංසනයක් බව පරිසර පදනමේ අධ්‍යක්ෂ, වනජීවී විද්‍යාඥ මනෝරි ගුණවර්ධන ‘ඉරිදා මව්බිම’ට පැවැසුවාය. මෙවන් සතුන් ඇති දැඩි කරන පිරිස උන්ට කෙතරම් සැප පහසුකම් සැලසුවද එම සතුන් ජාවාරම් කර ගෙන්වූ සතෙක් නම් ඌ කෙතරම් පීඩාවකට පත් වූවාද යන්න නොදනී. යට ඇඳුමක සඟවාගෙන පැමිණියද ඒ හුස්ම වැටෙන ජීවියෙකි. මුදලට හෝ උන්ට එවන් තත්ත්වයක් උදා නොවිය යුතුය. වනජීවී ජාවාරමේදී සත්ත්ව හිංසනය ගැන තැකීමක් ඇත්තේ නැත. නීත්‍යනුකූල ආනයනයකදී ඒවා කොන්දේසි ගණනාවකට යටත්ය. ඒවායෙහිදී  ජාත්‍යන්තරව පිළිගත් නීති අනුව සතුන්ට සුව පහසුව සැලසිය යුතුය. එහෙත් නීති විරෝධී ආනයනයේදී බොහෝ සතුන් මිය යයි. හිංසනයට ලක්වේ. ස්වාභාවික පරිසරයෙන් සතුන් අල්ලා ගන්නා විටදී, උන් තැරැව්කරුවන් හා ජාවාරම්කරුවන් අතර හුවමාරු වීමේදී වුවද උන් මිය යා හැකිය. අවසානයේදී ඉතිරි වනුයේ කිහිපදෙනෙක් පමණි. ඇතැම් විට එක ජීවියෙක් පමණක් ඉතිරි වනුයේ තුන් හතර දෙනෙක් වුවද මරණයට පත්වීමෙන් පසුව විය හැකිය.

නීති විරෝධීව මිලදී ගත් සතුන්ට උන්ගේ ඉතිරි ජීවිත කාලයම සුව පහසුව සැලසීම ප්‍රමාණවත් යැයි සිතුවද එය එසේ නොවන බව මනෝරි ගුණවර්ධන අවධාරණය කළාය. උන් මිලට ගැනීමේ ක්‍රමවේදයම නීත්‍යනුකූල නොවන්නේ නම් උන්ට නිසැකයෙන්ම හිංසනයට ලක් වූවන්ය. අනෙක් අතට ශරීරයේ සඟවාගෙන සර්පයන් මේ අයුරින් රැගෙන එම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නම් නොවේ. යම් හෙයකින් මේ සතුන්ගෙන් රෝගයක් වැලඳීමට වුවද ඉඩකඩ පවතී. සැල්මනොල්ලා වැනි ලෙඩ උරගයන්ගෙන් ව්‍යාප්ත වන බව පැවැසේ. සතුන් ගෙන ඒමේදී නිරෝධායනය, සෞඛ්‍ය සහතික ලබා ගැනීම සහ ආරක්‍ෂිත ප්‍රවාහනය වැනි ක්‍රම හඳුන්වාදී ඇත්තේද ඒ නිසාමය. ලංකාවට ආවේණික උරග විශේෂ ගණනාවක් වේ. යම් හෙයකින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙන්වන සතුන් බාහිර පරිසරයට මුදාහැරියහොත් ලෙඩ රෝග ගණනාවක් වුවද ව්‍යාප්ත විය හැකිය. උරගයන් විෂයෙහි තවමත් ලෝකය සතුව ඇත්තේ අල්ප දැනුමකි. කොවිඩ් වයිරසය වුවද ව්‍යාප්ත වූයේ චීනයේ වූහාන්හි වන සතුන් අලෙවි කරන ස්ථානයකිනි. එය නීත්‍යනුකුල තැනකි. නීත්‍යනුකුල ස්ථානයකින් එවැන්නක් සිදුවීමට ඉඩක් පැවැතියේ නම් නීත්‍යනුකුල නොවන වනජීවී වෙළෙඳාම තුළ ඇති සංකීර්ණ බව ගැන අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.