Back to Blog

සොබාදහමේ හඬ ලොවට විවර කළ කාන්තාවක්

Binali Rajapakshe
සොබාදහමේ හඬ ලොවට  විවර කළ කාන්තාවක්

රේචල් කාර්සන් කියන්නේ ඇමරිකාවේ විසූ ජලජ ජීව විද්‍යාඥවරියක් සහ ලේඛිකාවක්. ඇය අද වඩාත් කතාබහට ලක්වෙන්නේ සාගර ජීවින් පිළිබඳ කරන ලද අධ්‍යයනයන්ට වඩා සොබාදහම පිළිබඳ ලෝක දෘෂ්ටිය වෙනස් කළ ජීව විද්‍යාඥවරියක් විදිහට. මේ රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් නව මානයන් සොයා ගිය මිනිසුන් , බෝම්බ සහ අභ්‍යවකාශ ගමන් මගින් උද්ධාමයට පත් වී සිටි කාලයයි. මිනිසුන් තමන්ට ස්වභාවධර්මය පාලනය කළ හැකියි යන මතයක සිට අත්තනෝමතික ලෙස පරිසරය හා සම්පත් අවභාවිතා කරමින් සිටි කාලයයි. ඊට එරෙහිව සැළකිවයුතු වූ හඬක් නොනැඟූ කාලයයි. රේචල් තම Silent Spring නම් කෘතිය හරහා එම මතය අභියෝගයට ලක් කරන අතර එමගින් ලෝකය සොබාදහම දෙස බලන ආකාරය වෙනස් කිරීම ආරම්භ කිරීමට සමත් වෙනවා.

රේචල් කාර්සන් උපත ලබන්නේ 1907 මැයි 27 වන දා ඇමරිකා එක්සත් ජනපදයේ මුල් ඇමරිකානු ජනපද 13 න් එකක් වන පෙන්සිල්වේනියාවේ පිහිටි ස්ප්‍රින්ඩේල් හි ගොවිපලක. රොබට් සහ මරියා මැක්ලීන් කාර්සන්ගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වුණ රේචල් කාර්සන් ස්වභාවධර්මය කෙරෙහි ගැඹුරු ඇල්මක් ඇති කර ගත්තේ කුඩා කාලයේ පටන්මයි.

පළමුවෙන්ම ලේඛිකාවක් වීමේ අදහසින් පෙන්සිල්වේනියා කාන්තා විද්‍යාලයට ඇතුළත් වන ඇය සොබාදහම හා විද්‍යාව කෙරෙහි දක්වූ අසීමිත ඇල්ම නිසා ඇගේ ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ජීව විද්‍යාවට වෙනස් කිරීමට තීරණය කරනවා. සිය ප්‍රථම උපාධිය 1929 දී ලබාගත් ඇය ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 1932 දී සම්පූර්ණ කිරීමට සමත් වෙනවා.

1936 දී එක්සත් ජනපද ධීවර කාර්යාංශයේ ජලජ ජීව විද්‍යාඥවරියක් ලෙස තනතුරක් ලබා ගත් රේචල් කාර්සන් 1952 දක්වා එහි සේවයේ නියතු වෙන අතර අවසානයේ එම ආයතනයේ ප්‍රකාශනවල ප්‍රධාන කර්තෘවරිය ලෙස පත් වෙනවා.

Under the Sea-Wind ඇගේ පළමු පොතයි. 1941 දී ප්‍රකාශයට පත් කරනු ලබන මේ ග්‍රන්ථය සඳහා පදනම සපයන්නේ ඇය විසින්ම 1937 දී The Atlantic නම් සගරාවේ පල කරන ලද ලිපියක් මගිනුයි.

කාර්සන් ඇගේ දෙවන පොත වන "The Sea Around Us" නම් කෘතිය 1951 දී පල කරනවා. භාෂා 30 කට වඩා පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය වැඩියෙන්ම අලෙවි වන පොතක් බවට පත් වෙන අතර National Book Award ද, දිනා ගැනීමට සමත් වෙනවා.

සංකීර්ණ විද්‍යාත්මක අදහස් ඉතාමත් අලංකාර, කියවිය හැකි ගද්‍ය බවට පත් කිරීමේ හැකියාව ඇයට පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වෙන අතර ඇය ඇයගේ තුන්වන පොත වන The Edge of the Sea" (1955) පළ කරනවා. මේ කාර්සන් ඇමරිකාවේ වඩාත්ම ගෞරවනීය විද්‍යා ලේඛිකාවක් ලෙස කතාබහට ලක් වෙමින් තිබුණු කාලයයි.

Why Rachel Carson's Silent Spring Still Resonates Today - Union of  Concerned Scientists

DDT පිළිබඳ ඇය පළමුව ලියන්න උත්සාහයක යෙදෙන්නේ ඇය මේර්ලන්ඩ් හි ජීවත් වූ ස්ථානට නුදුරින් පැවැති පර්‍යේෂණ මාලාවක් අරඹයායි.

DDT කියන්නේ 1939 දී වර්ධනය කළ රසායනික සංයෝගයක්. එය දෙවන ලෝක යුද්ධ සමයේ දී මැලේරියව පැතිර යාම මර්ධනය සදහා විශාල වශයෙන් භාවිතා කර තිබෙනවා. බොහෝ පළිබෝධනාශකයන්ගේ කාර්යක්ෂමතාව කෘමීන් වර්ග එකක් හෝ දෙකක් විනාශ කිරීමට සීමා වී ඇති තිබුණත්, DDT මගින් එකවර විවිධ වර්ග සිය ගණනක් මරා දැමනවා. 1945 දී වන විට දී DDT සිවිල් භාවිතයන් සදහාත් යොදා ගැනෙන්න පටන් ගන්නවා.

මේ වෙද්දි DDT ඉතා ආශ්චර්යක් වූ සංයෝගයක් ලෙස බොහෝ දෙනා සළකනු ලැබූ අතර මේ පිළිබඳ වෙනත් මතයක් ප්‍රකාශ කර සිටියේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. ඉන් එක් අයෙක් වූයේ ස්වභාවධර්ම ලේඛක එඩ්වින් වේ ටීල්. DDT වැනි ඉසිනයක් හිතූමනාපයට අවිචාරවත් ලෙස භාවිතා කිරීම සමාජ ආර්ථිකය අවුල් කරන තරමටම ස්වභාවධර්මය අවුල් කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවීමක් කරනවා . සියලුම කෘමීන්ගෙන් සියයට අනූවක් හොඳයි, ඔවුන් මරා දැමුවහොත්, දේවල් වහාම නරක අතට හැරෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර සිටිනවා.

1945 දී සිට භාවිතය ඉහළගොස් තිබූ DDT වල අනිසි ප්‍රතිඵල පිළිබඳ ලිපි පළ කිරීම සදහා රේචල් රීඩර්ස් ඩයිජෙස්ට් නම් සඟරාවට යෝජනා කර ලියා යැවූ මුත් සඟරාව එම අදහස ප්‍රතික්ෂේප කර සිටිනවා.

නමුත් වසර දහතුනකට පසු, 1958 දී, DDT ඉසීමේ ප්‍රතිඵලයක් ලෙස කේප් කෝඩ් හි සිදු වූ විශාල පක්ෂීන් ප්‍රමාණයක් මිය යාම ගැන මිතුරියකගෙන් ලිපියක් ලැබුණු විට, DDT භාවිතා කිරීමෙහි අන්තරායන් ගැන ලිවීමට කාර්සන්ගේ උනන්දුව නැවත ඇති වෙනවා. 1962 දී පළවු ඇගේ සිව්වෙනි පොත මගින් ඇය එතෙක් දැන සිටි බලවත්ම පළිබෝධනාශකය වන DDT, මගින් ඇතිවන අවදානම හෙළි කරනු ලබනවා. ලෝකය තුළ වඩාත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණේ Silent Spring නැමැති ඇගේ මෙම ග්‍රන්ථයයි. මෙම ද්‍රව්‍ය පරිසරය දූෂණය කරන බවත්, පක්ෂීන් සහ කෘමීන් මරා දමන බවත්, මිනිස් සෞඛ්‍යයට බරපතල අවදානම් ඇති කරන බවත් කාර්සන් තර්ක කළා. මෙම පොත මගින් ඇය කෘෂිකාර්මික හා රසායනික කර්මාන්තවල භාවිතයන්ට අභියෝග කළ අතර ස්වභාවික ලෝකය සමඟ ඇති සම්බන්ධතාවය නැවත සලකා බලන ලෙස සමාජයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මීට රසායනික සමාගම්වලින් එල්ල වුණේ දැඩි විරෝධයක්. මිනිසා මිස් කාර්සන්ගේ ඉගැන්වීම් විශ්වාස කර අනුගමනය කළහොත්, අපි අඳුරු යුගයට නැවත පැමිණෙනු ඇති අතර, කෘමීන්, රෝග සහ පණුවන් නැවත වරක් පෘථිවිය උරුම කර ගනු ඇත" යනුවෙන් එක්තරා ඇමරිකානු රසායනික සමාගමක විධායක නිලධාරියෙක් පැමිණිලි කළා. රසායනික පළිබෝධනාශක තහනම් කර ඇති නිසා සාගතය, රෝග සහ කෘමීන් උමතු වූ ලෝකයක විනාශය සහ අපහසුතාවය විස්තර කරමින් මොන්සැන්ටෝ "The Desolate Year" නම් Silent Spring උපහාසයට ලක් කරන අත් පත්‍රිකාවක පිටපත් 5,000 ක් ප්‍රකාශයට පත් කර බෙදා හැර තිබෙනවා. ඇතැම් අය කාර්සන්ගේ සිහිබුද්ධිය පවා ප්‍රශ්න කිරීමට පෙළඹුණා.

Rachel Carson, pionera y referente en la lucha contra el cambio climático

කෙසේ වෙතත් කාර්සන් ඇගේ පණිවිඩය සමග නොසැලී හිටියා. ඇගේ සාක්ෂි මත පදනම් වූ තර්ක මහජන මතය වෙනස් කිරීමට උපකාරී වූ අතර අනාගත පාරිසරික ප්‍රතිපත්ති සඳහා අඩිතාලම දැමීමට ඇය සමත් වුණා. බොහෝ ප්‍රසිද්ධ විද්‍යාඥයින් ඇයගේ ආරක්ෂාව සඳහා නැගී සිටියා. එහි ප්‍රතිඵක් ලෙස ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පොතෙන් මතු කරන ලද ගැටළු පරීක්ෂා කරන ලෙස ජනාධිපතිගේ විද්‍යා උපදේශක කමිටුවට නියෝග කරනු ලබනවා. වාර්තාව සයිලන්ට් ස්ප්‍රින්ග් හි මතය සනාථ කරනු ලබනව. මින් පසු DDT රජයේ අධීක්ෂණයට ලක් වෙන වෙනව.

සයිලන්ට් ස්ප්‍රින්ග් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර දෙකකට පසුව, 1964 දී කාර්සන් පියයුරු පිළිකාවකින් මිය ගියත්, ඇගේ කාර්යය නව පාරිසරික රෙගුලාසි වලට ආභාෂය ලබා දුන් අතර, එක්සත් ජනපදයේ DDT අවසානයේ තහනම් කිරීමට දායක වූණා. එමෙන්ම එය 1970 දී පාරිසරික ආරක්ෂණ ඒජන්සිය නිර්මාණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් වේ.

https://www.envynature.org/10-inspiring-environmentalists-who-have-changed-the-world/

https://www.britannica.com/biography/Rachel-Carson

LLLF Media Team

යසස්වි කන්කානම්ගේ