Back to Blog

ශ්‍රී ලංකාවේ උභය ජීවී විවිධත්වය පිළිබඳ විමසුමක්

Editor
ශ්‍රී ලංකාවේ උභය ජීවී විවිධත්වය පිළිබඳ විමසුමක්

ශ්‍රී ලංකාව උභය ජීවී (Amphibians) විවිධත්වය අතින් ලෝකයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා රටකි. අප කුඩා දිවයිනට ආවේණික වූ උභය ජීවී විශේෂ රාශියක් වාර්තා වන අතර ආසියාවේ ඉහළම ආවේණික උභය ජීවීන් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ එහි ඇති සුවිශේෂී ජෛව විවිධත්වය හේතුවෙනි.

ශ්‍රී ලංකාව උභයජීවී විශේෂ 110කට අධික සංඛ්‍යාවක් සඳහා නිවහන වන අතර, එයින් 90කට අධික සංඛ්‍යාවක් මෙරටට ආවේණික වේ. මෙය 85%ක පමණ ආවේණිකතා ප්‍රතිශතයක් ලබාගනිමින්, ආසියාවේ ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරයි. මෑත භාගය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගැනුණු නව උභයජීවී විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය තව තවත් වර්ධනය වෙමින් පවතී.


උභයජීවී පර්යේෂණ ඉතිහාසය දෙස බලන විට, 1957 වනවිට විශේෂ 35ක් හඳුනාගෙන තිබුණු අතර, 1996 වන විට එය 53 දක්වා ඉහළ ගියේය. පසුකාලීනව සිදුකළ ක්ෂේත්‍ර සමීක්ෂණ මගින් එම අගය 250 ඉක්මවා ගියද, පසුව එය විශේෂ 140ක් දක්වා සංශෝධනය විය. 2016 වන විට, උභයජීවී විශේෂ 120ක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති අතර, එයට ආවේණික විශේෂ 110ක් ඇතුළත් වේ.

Adenomus, Nannophrys, සහ Lankanectes යන උභයජීවී ගණයන් [Subfamily] තුනම ශ්‍රී ලංකාවට ආවේණික වීම තවත් සුවිශේෂී ලක්ෂණයකි. නව විශේෂවලින් බහුතරයක් මුලින් Philautus ගණයට අයත් වූ අතර, පසුව ඒවා Pseudophilautus ගණය යටතට ඇතුළත් කෙරිනි. මෑතකදී හඳුනාගත් Pseudophilautus dilmah වැනි විශේෂ මෙම විවිධත්වය ඉහළ දැමීමට තවදුරටත් දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ උභයජීවී විවිධත්වය අතිශයින් වැදගත් වුවද, එය මේ වන විට දැඩි සංරක්ෂණ අභියෝගවලට මුහුණ දී සිට. ශ්‍රී ලංකාව ආසියාවේ සීඝ්‍රතම උභයජීවී නෂ්ට වීම් සහ ඉහළම උභයජීවී තර්ජිත ප්‍රතිශතය සහිත රට ලෙස නම් වීමද කණගාටුදායක තත්වයකි.

Fallen for a frog! | FOS Media Students' Blog

20 වැනි සියවස තුළ මෙරට උභයජීවී විශේෂ අතුරින් 20%ක් පමණම නෂ්ට වී ගොස් ඇති බවට සත්ව විද්‍යාඥයින් අනුමාන කරයි. ඊටත් වඩා භයානක කරුණක් වන්නේ පසුගිය වසර 500 තුළ ලෝකයෙන් නෂ්ට වී ගිය උභයජීවී විශේෂ 34 අතුරින් 19ක්ම ශ්‍රී ලංකාවට අයත් වූ විශේෂ වීමයි. Pseudophilautus pardus සහ P. maia වැනි විශේෂ දැනටමත් නෂ්ට වී ඇති විශේෂ ලෙසට සත්ව විද්‍යාඥයින් සළකනු ලබයි.

New records of the primarily Sri Lankan Pseudophilautus regius  (Manamendra-Arachchi & Pethiyagoda, 2005) (Amphibia; Rhacophoridae) from  the Eastern Ghats of India, crossing the Palk Strait saltwater barrier in  the Indian Ocean |

මෙම තර්ජනවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාසස්ථාන අහිමි වීම, කුඩා වීම සහ කැබලි වීමයි. ඊට අමතරව, පලිබෝධනාශක භාවිතය සහ වායු දූෂණය ද උභයජීවීන්ගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල කරයි. ශේෂව ඇති උභයජීවී විශේෂවලින් අඩක් පමණ දැනටමත් නෂ්ට වීමේ තර්ජනයට ලක්ව සිටී.

ශ්‍රී ලංකාවේ මෙම අද්විතීය උභයජීවී විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසි සංරක්ෂණ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. වාසස්ථාන සංරක්ෂණය, පරිසර දූෂණය අවම කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම මෙම උභයජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වේ.

LLLF Media Team 

සුරංජීව කොඩිතුවක්කු