LLLF Media Team
බී.රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනයත් , සංවර්ධනයත් හේතුවෙන් ශීඝ්‍රයෙන් නාගරීකරණය වන පරිසර පද්ධතියක් තුළ වැඩි වශයෙන් අවතැන් වන සත්ව විශේෂයක් ලෙස වානර පවුල හඳුන්වා දීමට හැකි ය. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අවතැන් වන වානර පවුලේ සතුන් ප්‍රමාණය ඉතාමත් ම වැඩියි. මෙලෙස අවතැන් වන වානර පවුලේ අවතැන් වන ළදරුවන් සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන පසුගිය සැප්තැම්බර් 5 වන දින පෙරවරුවේදී අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ ළදරු වානර ඒකකයේ අදියර 1 විවෘත කරනු ලැබුවා. මෙම ළදරු වානර රැඳවුම් ඒකකය ඉදිකිරීම සඳහා Wildlife And Forest Conservation Trust සංවිධානයේ ජොහානා ෆර්නැන්ඩස් මහත්මිය සහ නිර්මාල් මදනායක මහතා අනුග්‍රාහයකත්වය දැක්වූවා.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ළදරු වානර රැඳවුම් ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා , ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මහතා, අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා, පශු වෛද්‍ය කළණි සමරකෝන් මහත්මිය , වනසත්ව අඩවි ආරක්ෂක කමල් පීරිස් මහතා, ජොහානා ෆර්නැන්ඩස් මහත්මිය , නිර්මාල් මදනායක මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහභාගී වුණා.

එම අවස්ථාවේදී ආරාධිත අමුත්තන් විසින් අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ මී ,සියඹලා , දිවුල් , බටදොඹ සහ බෙලි ආදී පැළ රෝපණය කිරීමක් ද සිදු කළා.