Back to Blog

ජූලි 28 වනදා ලෝක ස්වභාව සංරක්ෂණ දිනයයි

Editor
ජූලි 28 වනදා ලෝක ස්වභාව සංරක්ෂණ දිනයයි

ඔබ කවදා හෝ වනාන්තරයක ඇතුළත නතර වී කෘමීන්ගේ ඝෝෂාවට කන් දී තිබෙනවාද? මේ ඩිජිටල් යුගයේ අපිට ඇතිවෙන මානසික පීඩාවලට සන්සුන් පරිසරය තරම් සාර්ථක ඔසුවක් තවත් නැහැ. සෑම වසරකම ජූලි 28 වන දින සමරනු ලබන ලෝක ස්වභාව සංරක්ෂණ දිනය අපව ජීවත් කරන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට මතක් කරන අතරම මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා සොබාදහම සුරැකීමට සියල්ලන්ටම ආරාධනා කරයි.

පරිසර සංරක්ෂණ වැඩසටහන්

පරිසර පද්ධතියක් යනු ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් වැනි ජීවී ප්‍රජාවන් සහ සූර්යාලෝකය, ජලය සහ වාතය වැනි අජීවී පරිසරය, එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන නිශ්චිත කලාපයක් වේ. එනම්, සියල්ල සම්බන්ධ වී එකමුතුව ක්‍රියාකරමින් පැවැත්ම සඳහා එකිනෙකා මත රඳා පවතින ගම්මානයක් ලෙස සිතිය හැකියි. පරිසර පද්ධති වැසි වනාන්තරයක් හෝ සාගරයක් වැනි විශාල දෙයක් මෙන්ම ඉතා කුඩා, පොකුණක් හෝ ජල බිඳුවක් විය හැකිය. ඒවායේ ප්‍රමාණය කුමක් වුවත්, ඒ සියල්ලටම ජෛව ගෝලයේ ආවේණික ක්‍රියාවලීන් පවතී. වන විනාශය හෝ ගංගා දූෂණය කිරීම වැනි එක් කොටසක් හානි වූ විට එය ජීවයේ අනෙක් සියල්ලටම බලපායි. එනම් පෘථිවියේ ජීවය වන පරිසර පද්ධති සමබරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. නමුත් මේ සහයෝගීතාවයේ භයානක පරිච්ඡේදය ආරම්භ වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ස්වාභාවික අනුපාතයට වඩා දහස් ගුණයක වේගයෙන් ජීවී විශේෂ අපට අහිමි වෙමින් පවතී.

නමුත් සංරක්ෂණය එතරම් පුළුල් දෙයක් වන්නේ ඇයි?

විද්‍යාත්මකව ගත් කල, සොබාදහම සංරක්ෂණය යනු අනාගත පරම්පරාවන් වෙනුවෙන් ස්වභාවික සම්පත්, ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පාරිසරික, පරිණාමීය සහ වෙනත් විද්‍යාත්මක මූලධර්ම භාවිතා වන ක්ෂේත්‍රයකි. සරලව ගත්විට සියලුම ජීවීන් ආරක්ෂා කරන සහ පෘථිවියේ ජීවය වන වාතය, ජලය, පස වැනි දේ සෞඛ්‍ය සම්පන්න මට්ටම්වල පවත්වා ගන්නා උපාය මාර්ග එකතුවක් වේ. ප්‍රධාන වශයෙන් සංරක්ෂණ වර්ග දෙකක් පවතී.

1.      ස්ථානීය සංරක්ෂණය (In-situ conservation)

මෙහිදී සිදුවන්නේ ජීවින් සහ පරිසර පද්ධති ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන තුළ සුරකිමින්, ඔවුන්ගේ මුල් වටපිටාවන් තුළ වර්ධනය වීමට සහ ක්‍රමානුකුලව පරිණත වීමට අවස්ථාව ලබාදීමයි. ඔවුන්ව වෙනත් තැනකට ගෙන ගොස් ආරක්ෂා කිරීමට වඩා වඩාත් හොඳ විකල්පයක් ලෙස ඔවුන්ට මුල් පරිසරය තුළම ජීවත් වීමට හැකියාව ලබාදීම මෙහි අරමුණයි. මෙම සංරක්ෂණ ක්‍රමය වනාන්තර, තෙත්බිම් සහ තෘණ බිම් වැනි පරිසර පද්ධතිවල සෞඛ්‍යය හා අඛණ්ඩතාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. ජාතික වනෝද්‍යාන, වනජීවී අභයභූමි, ලෝක උරුම කලාප සහ ජෛවගෝල රක්ෂිත කලාප වැනි ආරක්ෂිත ප්‍රදේශ ස්ථානීය සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා ප්‍රධාන උදාහරණ වේ.

2.      විතැන් සංරක්ෂණය (Ex-situ conservation)

මෙහිදී ස්වාභාවික වාසස්ථානවලින් පිටත ශාක හා සතුන් සංරක්ෂණය කිරීම සිදුවන අතර එනම් සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, මින්මැදුරු සහ බීජ බැංකු වැනි ක්‍රම භාවිතා කරමින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ සහ ඒවායේ ජානමය තත්ත්ව ආරක්ෂා කරයි. මෙම ප්‍රවේශය වඳවී යාමට එරෙහිව "සංරක්ෂණ ප්‍රතිපත්තියක්" ලෙස ක්‍රියා කරන අතර ජීවීන් ඔවුන්ගේ මුල් නිවාසවලින් ඈත්ව පාලිත පරිසරවල නඩත්තු වේ. මෙම ක්‍රමයේ ප්‍රාථමික අරමුණක් වන්නේ ජීවීන් වඳවීම වැළැක්වීමට ඔවුන්ගේ ජානමය විවිධත්වය සංරක්ෂණය කිරීම සහ තත්වයන් වැඩිදියුණු වූ විට එම ජීවී විශේෂ නැවත ඔවුන්ගේ මුල් පරිසර පද්ධතිය වෙත හඳුන්වා දීමයි.

(ඡායාරූප මූලාශ්‍රය: Google Images)

උඩවලව ඇත් අතුරු සෙවණ ස්ථානීය සංරක්ෂණයට උදාහරණයක් වන අතර එහි අනාථ වූ අලි පැටවුන් වනයට මුදා හැරීමට පෙර ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන තුළ පුනරුත්ථාපනය කරයි. පින්නවල අලි අනාථාගාරය විතැන් සංරක්ෂණය නියෝජනය කරන අතර, එහිදී අලි ඇතුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයෙන් පිටත පාලිත පරිසරයක රැකබලා ගනු ලැබේ.

සොබාදහම සංරක්ෂණය කිරීමට බලපාන ජීවමාන හේතු බොහොමයක් අතුරින් කිහිපයක් මෙසේය.

  • ජෛව විවිධත්වය අඩුවෙමින් පවතී. 1970 සිට, පෘෂ්ඨවංශීන් ජනගහනය 73% කින් පමණ පහත වැටී ඇත. සෑම ජීවී විශේෂයක්ම වැදගත් වන අතර, ඒවායින් බොහොමයක් අහිමි වීම සමස්ත පරිසර පද්ධතියම දුර්වල කරයි.

  • මිරිදිය පරිසර පද්ධති අවදානමට ලක්ව ඇත. පෘථිවි පෘෂ්ඨයෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් මිරිදිය ආවරණය කළත් එය සියලුම සත්ව‍යින්ගෙන් 10% කට සහාය වේ. නමුත් දැන් ජලාශ වේලි ඉදිකිරීම, ජල දූෂණය, ආක්‍රමණශීලී විශේෂ සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මිරිදිය විශේෂවලින් හතරෙන් එකක් පමණ තර්ජනයට ලක්ව ඇත.

  • දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ස්වභාවධර්මයේ සමබරතාවය උපකාරී වේ. වනාන්තර, තෙත්බිම් සහ පීට්බිම් ස්වභාවිකවම ප්‍රධාන හරිතාගාර වායුවක් වන CO₂ අවශෝෂණය කරයි. මෙම "ස්වාභාවික දේශගුණික විසඳුම්" ගෝලීය දේශගුණික ඉලක්ක වලින් 30% ට වඩා සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.

  • පාරිසරික සංරක්ෂණයට ඔබට සම්බන්ධ විය හැකි ආකාර කිහිපයක් විමසා බලමු.

  • දේශීය ජෛව පද්ධති ප්‍රතිසංස්කරණයට සහාය වන්න - දේශීය ගස් සිටුවීම සහ වාසස්ථාන නැවත ගොඩනැඟීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න.

  • ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න - ජල මාර්ග අවහිර කරන සහ වනජීවීන්ගේ හුස්ම හිර කරන ප්ලාස්ටික් භාවිතය අඩුකර, භාවිතා කළ ඒවා නිසිපරිදි බැහැර කරන්න.

  • තිරසාර ආහාර තෝරා ගන්න - ගෝලීය පාරිසරික පීඩනය ලිහිල් කිරීම සඳහා දේශීය, සෘතුමය නිෂ්පාදන වලට අනුග්‍රහය දක්වන්න.

  • විද්‍යාව පදනම් කරගත් උත්සාහයන්ට සහාය වන්න - අති නවීන තාක්ෂණික ක්‍රම වන AI අධීක්ෂණය සහ ජෛව ධ්වනි විද්‍යාව වැනි දේ භාවිතය ඇති කිරීමට ආයතනික වශයෙන් සහය වන්න.

  • හැකි සෑම විටම අනෙකාව දැනුවත් කිරීමටත් අමතක කරන්න එපා. පරිසර සංරක්ෂණයේ මූලික අඩිතාලම වෙනුවෙන් මෙම පණිවිඩය බෙදා ගැනීම උදෙසා මෙම කරුණු ගැන කතා කරන්න, මෙම ලිපියත් යොමු කරන්න.

මෙම ලෝක ස්වභාව සංරක්ෂණ දිනයේ පණිවිඩය ඔබට පැහැදිළි බව අපි සිතන්නෙමු. සංරක්ෂණය විකල්පයක් නොවන අතර එය අත්‍යවශ්‍යයි. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යනු සුන්දර ජීවීන් බේරා ගැනීම පමණක් නොව එය අප හුස්ම ගන්නා වාතය, අප පානය කරන ජලය සහ අපගේ පෘථිවිය සමබර කරන දේශගුණය ආරක්ෂා කිරීම ගැන ය. අප වෙනුවෙන් සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් සොබාදහම ආරක්ෂා කිරීමට එක්ව කටයුතු කරමු.

 මූලාශ්‍ර:

[1]   Ferguson, L. (2019). The Extinction Crisis | Tufts Now. Now.tufts.edu. https://now.tufts.edu/2019/05/21/extinction-crisis

[2]   ‌Gedeon, F. (2024, July 28). Greenpeace Middle East and North Africa. Greenpeace Middle East and North Africa. https://www.greenpeace.org/mena/en/five-ways-to-celebrate-world-nature-conservation-day/

[3]   ‌LARSON, C. (2025, January 8). New research shows a quarter of freshwater animals are threatened with extinction. AP News. https://apnews.com/article/freshwater-species-threatened-extinction-cec91afc657bb0922c1d2966adf031ee

[4]   ‌WWF-led research highlights “invisible” wildlife benefits people receive but could lose if biod. (2025). Panda.org. https://wwf.panda.org/wwf_news/?13195966%2Fwildlife-contributions-to-people-2025=&utm_source=chatgpt.com

LLLF Media Team

සටහන - සමිතා අබයනායක

Graphics

LLLF Media Team

කවීෂා සදමාලි